Home Sinhala නෙදර්ලන්තය අත තිබූ තරගය ධනංජය, මහීෂ්, වනිඳු කණපිට හරවයි!

නෙදර්ලන්තය අත තිබූ තරගය ධනංජය, මහීෂ්, වනිඳු කණපිට හරවයි!

3683
Getty Images
Getty Images

පරාජය කරා ගමන් ගනිමින් තිබූ අති දුෂ්කර තරගයක් පියවරෙන් පියවර තමන් දෙසට හරවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) නෙදර්ලන්තයට එරෙහි තරගය ලකුණු 21කින් ජය ගත්තා.

මෙම ජයග්‍රහණයට ධනංජය ද සිල්වාගේ විශිෂ්ට ඉනිමත්, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඇතුළු පන්දු යවන්නන්ගේ ජවයත් ගෙන දුන්නේ අපරිමිත ශක්තියක්.

අද තරගය වෙනුවෙන් සූදානම් කර තිබුණේ ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමඟ තරගයට ක්‍රීඩා කළ පන්දුව පහතින් ඇදී එන ස්වභාවයක් පෙන්නුම් කළ තණතිල්ලමයි. ශ්‍රී ලංකාව ලකුණු 245කට දැවී ගිය එම තණතිල්ල මතදීම කාසියේ වාසිය දිනා තිබිය දීත් මුලින් පන්දුවට පහර දීමට ඉල්ලා සිටීම තේරුම් ගත නොහැකි තීරණයක් බවට පත්වුනා.

නෙදර්ලන්තය මෙම තීරණය හිස් මුදුනින් පිලිගත් අතර කොදෙව්වන් සමඟ ලකුණු 374ක් සාර්ථකව හඹා ගොස් සිටි ඔවුන් පසුව පන්දුවට පහර දීමට ප්‍රිය කළා. තරගය ඇරඹී වැඩි කල් යන්නට පෙර ශ්‍රී ලංකාවට තමන් සියතින් ගෙල සිඳගත් බව තේරුම් ගිය අතර ශ්‍රී ලංකා මුල්පෙළ නෙදර්ලන්ත පන්දු යැවීම හමුවේ අන්ත අසරණ වුනා.

වෙනදාට ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන නිස්සංක අද පළමු පන්දුවටම හතරේ පහරක් සඳහා උත්සාහ දැරූ අතර එය පොයින්ට් හි සිටි පන්දු රකින්නා ගුවනේ පියඹා ගොස් රැක ගත්තා. කුසල් මෙන්ඩිස් පා ඉන්න කෙළින් පහතින් ඇදී ආ පන්දුවක් තම පා ආවරණයේ දවටා ගත්තේ Ryan Kleinට කඩුල්ල හිමිකර දෙමින්.

මෙම තණතිල්ල ප්‍රහාරයට නුසුදුසු බව වටහා නොගත් සදීර සමරවික්‍රම කඩුල්ලෙන් එළියට දෝලනය වෙමින් යන පන්දුවක් එලවා යන්නට ගොස් කඩුලු රකින්නා අතට පහසු උඩපන්දුවක් තෑගි කළා. ඒ මුල් පන්දුවාර 5 නිමා වෙද්දීම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 27ට කඩුලු 3ක් බවට පත් කරමින්. ශ්‍රී ලංකා ඉනිමේ නාය යෑම එතකින් නිමාවට පත් නොවුනු අතර නෙදර්ලන්තය දිගින් දිගටම කඩුල්ල කෙළින් පන්දු යවමින් පීඩනය දැඩි කළා.

ඒ හමුවේ මීළඟට දැවී යන්නේ ලකුණු 2ක් ලබා සිටි චරිත් අසලංකයි. අපරීක්ෂාකාරී ලෙස පන්දුව පා ඉන්න දෙසට තල්ලු කිරීමට උත්සාහ ගත් චරිත් Teja Nidamanuru අතට පහසු උඩපන්දුවක් ලබා දුන්නේ කොදෙව් තරගයේ දී සියල්ලන්ගේම කතාබහට ලක්වූ වීරයා – Van Beek හට තෙවැනි කඩුල්ලත් හිමිකර දෙමින්.

ඉන්පසු පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවයක් දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අතරේ ගොඩ නැගුණා. එය බිඳ වැටෙන්නේ Saqib Zulfiqar පන්දුව අතට ගැනීමත් සමඟයි. ඒ දක්වා නෙදර්ලන්ත තර්ජනයට හොඳින් පිළිතුරු බඳිමින් සිටි දිමුත් එහි දී ලකුණු 33කට දැවී ගියා. ඒ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 67ට කඩුලු 5ක් බවට පත් කරමින්.

පිතිකරණයේ යෙදීමට ඉනිමෙන් හරි අඩක්ම ඉතිරිව තිබුනත්, මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙක් ක්‍රීඩාගාරයට ගොස් සිටියත්, නායක දසුන් ශානක ඒ ගැන කිසිදු තැකීමක් නොකර එල්ල කිරීමට ගිය දැවැන්ත පහර මගහැරී ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා. මෙම තරගාවලියේ බරපතළ ලකුණු ඉඩෝරයකට මුහුණ දී සිටින ශානක අද දැවී ගියේ ලකුණු 5කටයි.

මෙම තණතිල්ල තේරුම් ගෙන සිටි අතලොස්සක් පිතිකරුවන් අතරින් කැපී පෙනුණු ධනංජය ද සිල්වා පසුපෙළ පිතිකරුවන් සමඟ එකතු වී ලකුණු 93ක් ලබා නොගන්නට අද ශ්‍රී ලංකා ඉනිම ලැජ්ජා සහගත ලකුණකින් අවසන් වන්නට ඉඩ තිබුණා. අවසන් පන්දුවාර 5 දී ලකුණු වේගය වැඩි කිරීමේ අටියෙන් ධනංජය එල්ල කිරීමට ගිය හයේ පහර Bas De Leede රැක ගැනීම නිසා ඔහුට අද තම මංගල එක්දින ශතකය කරා යාමට නොහැකි වුනා.

ධනංජය අද ලබා ගත් අර්ධ ශතකය වසර දෙකකින් ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබා ගත් මන්දගාමීම අර්ධ ශතකය වුවද එය ශතකයකට වඩා වටිනා සටන්කාමී ඉනිමක් ලෙස නම් කළ හැකි. ලකුණු 96ට කඩුලු 6ක් බිඳ වැටී සිටි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 213ක් කරා ගෙන යන්නට වනිඳු හසරංග (20) සහ මහීෂ් තීක්ෂණ (28) ලබාදුන් දායකත්වය ද අමතක කළ නොහැකියි.

ශ්‍රී ලංකාව ලකුණු වේගය ඉහළ දැමීමක් ගැන නොසිතා පන්දුවාර 50 ක්‍රීඩා කළා නම් බොහෝ විට ඔවුන්ට ලකුණු 230 පසුකර යාමේ අවස්ථාවක් තිබුණ ද, ධනංජය – මහීෂ් සබඳතාවය නිමා වීමෙන් පසුව නෙදර්ලන්තය දක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉනිමට නැවතීමේ තිත තැබුවා. පන්දු යැවීමේ දී Van Beek සහ Bas De Leede කඩුලු 3 බැගින් බිඳ හෙලද්දී තමන්ට ආවේණික පන්දු යැවීමේ ඉරියව්වක් සහිත Saqib Zulfiqar කඩුලු 2ක් දවා ගත්තා.

නෙදර්ලන්ත ඉනිම ඇරඹී දෙවැනි පන්දුවේ දී ම ශ්‍රී ලංකාවට කඩුලු දඩයම ඇරඹීමට හැකි වූ අතර Vikram Singh බැක්වර්ඩ් පොයින්ට් හි සිටි වනිඳු හසරංග අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියා. ලහිරු කුමාරගෙන් ලැබුණු එම සුපිරි ආරම්භයට උපරිම සාධාරණය කළ ඩිල්ශාන් මධුශංක අනෙක් අන්තයෙන් නමගිය නෙදර්ලන්ත පිතිකරුවෙකු වන Max ODowd දවා ගත්තේ ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

මේ අනුව ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම දැවී ගිය නෙදර්ලන්ත ඉනිම ලකුණු 11ට කඩුලු 2ක් බවට පත්වුනා. කරුණු කාරණා මෙසේ වෙද්දීත් නෙදර්ලන්තය ආක්‍රමණශීලී ප්‍රහාරයකට උත්සාහ ගත්තේ එය ඔවුන්ගේ සැලැස්මේ කොටසක් වූ නිසා විය යුතුයි. එය සෑහෙන දුරකට සාර්ථක වූ අතර තෙවැනි කඩුල්ලට ලකුණු 77ක් එක් කරන්නට නෙදර්ලන්තය සමත් වුනා.

කෙටි ලකුණු සොරා ගන්නට ඔවුන් දැරූ උත්සාහය ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම නිසා තවදුරටත් වේගවත් වූ අතර, අඩු ලකුණු ගණනක් ආරක්ෂා කිරීමට දරන උත්සාහයක දී මෙවන් අත්වැරදීම් සුළුකොට තැකිය නොහැකි. අවසානයේ කිසිවෙකු නොසිතූ මොහොතක ශ්‍රී ලංකාව දුවද්දී දැවී යාමක් සාර්ථක කරගත් අතර හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟ ශ්‍රී ලංකාවට හොඳ හැටි බැට දෙමින් සිටි Wesley Barresi එහි දී ලකුණු 52කට දැවී ගියා.

නෙදර්ලන්ත ප්‍රේක්ෂකයින් මහත් බලාපොරොත්තු තබා සිටින Teja Nidamanuru තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී ම කඩුල්ල බිඳ ගත්තේ හසරංගගේ ගූග්ලි පන්දුව හරිහැටි කියවා ගැනීමට නොහැකි වීමෙනුයි. නැවතත් ලකුණු 36ක සබඳතාවයක් සබඳතාවයක් සමඟින් නෙදර්ලන්තය තරගය තමන් වෙතට ඇද ගනිමින් සිටින මොහොතක මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා බවට පත්වුනේ ඉක්මන් කඩුලු 3ක් සමඟින්.

එහි දී ලකුණු 41ක් සමඟින් ශ්‍රී ලංකාවට හිසරදයක් වී සිටි Bas De Leedeගේ පිට ඉන්න බිඳ හෙලූ තීක්ෂණ නැවතත් Saqib Zulfiqar කඩුල්ල මුවා කළ බවට ඉල්ලීමක් කළා. නමුත් විනිසුරු එය නිශ්ප්‍රභ කළ නිසා මෙතෙක් තමන්ට අවාසනාව ගෙන දුන් DRS තාක්ෂණයේම පිහිට පැතීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. ඒ අනුව පුනරූපන වලින් පැහැදිලි වුනේ මහීෂ් යැවූ පන්දුව අනිවාර්යයෙන්ම කඩුල්ලේ ගැටිය යුතු බවයි.

එතකින් නොනැවතුනු තීක්ෂණ කොදෙව්වන්ට එරෙහිව සුපිරි පන්දුවාරයේ දී තනිව ලකුණු 30ක් රැස්කළ Van Beekගේ කඩුල්ල බිඳ හෙලුවේ ඔහු ලකුණු ලබා ගැනීමටත් පෙරයි. ඉන්පසු කුසල් මෙන්ඩිස් තමන්ට පන්දුව හරිහැටි ග්‍රහණය කර ගැනීමට නොහැකි වූ වරද නිවැරදි කර ගත්තේ ලකුණක් සොරා ගැනීමට උත්සාහ දැරූ Shariz Ahmadගේ කඩුල්ලට හරියටම පන්දුව යොමු කරමින්. වනිඳු හසරංග Ryan Kleinව දවා ගැනීමත් සමඟ නෙදර්ලන්ත ලකුණු පුවරුව 176ට කඩුලු 9ක් බවට පත්වුනා.

නමුත් නෙදර්ලන්ත නායක Scott Edwards දක්ෂ ලෙස ස්වීප් පහර එල්ල කරමින් ලකුණු 67ක් ලබා සිටි නිසා තරග ජය ගැන දෙපිළටම තිබුණේ දෙගිඩියාවක්. මේ අතරේ වනිඳු හසරංගගේ පන්දුවාර 10ම අවසන් වන්නේ ලහිරු කුමාර ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා පන්දු බල ඇණිය තවදුරටත් දුර්වල කරමින්. නමුත් අවසන් මොහොතේ පන්දුව අතට ගත් නායක දසුන් ශානක Aryan Duttගේ කඩුල්ල බිඳ හෙලුවේ ගල් ගැසී තිබූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂක හදවත් නැවතත් පණ ගන්වමින්.

මේ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 21ක තියුණු ජයක් ලබා ගැනීමට හැකි වුනා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පරාජය කරා යමින් තිබූ තරගයක් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාවකට ගෙනගිය ධනංජය ද සිල්වාටයි. මේ නිසා ශ්‍රී ලංකාවට ඉතිරි තරග 2න් 1ක් ජය ගැනීම මීලඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වනු ඇති.

Result


Netherland
192/10 (40)

Sri Lanka
213/10 (47.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Saqib Zulfiqar b Logan van Beek 0 1 0 0 0.00
Dimuth Karunaratne c Scott Edwards b Saqib Zulfiqar 33 51 2 0 64.71
Kusal Mendis lbw b Ryan Klein 10 14 1 0 71.43
Sadeera Samarawickrama c Scott Edwards b Logan van Beek 1 13 0 0 7.69
Charith Asalanka c Teja Nidamanuru b Logan van Beek 2 8 0 0 25.00
Dhananjaya de Silva c Bas de Leede b Aryan Dutt 93 111 8 2 83.78
Dasun Shanaka lbw b Saqib Zulfiqar 5 20 0 0 25.00
Wanindu Hasaranga lbw b Bas de Leede 20 21 1 1 95.24
Mahesh Theekshana c Wesley Barresi b Bas de Leede 28 47 1 0 59.57
Lahiru Kumara lbw b Bas de Leede 2 5 0 0 40.00
Dilshan Madushanka not out 1 5 0 0 20.00


Extras 18 (b 4 , lb 3 , nb 0, w 11, pen 0)
Total 213/10 (47.4 Overs, RR: 4.47)
Bowling O M R W Econ
Logan van Beek 9 2 26 3 2.89
Ryan Klein 9 0 38 1 4.22
Bas de Leede 9.4 0 42 3 4.47
Aryan Dutt 8 0 34 1 4.25
Saqib Zulfiqar 10 0 48 2 4.80
Shariz Ahmad 2 0 18 0 9.00


Batsmen R B 4s 6s SR
Vikramjit Singh c Wanindu Hasaranga b Lahiru Kumara 0 2 0 0 0.00
Max O’Dowd lbw b Dilshan Madushanka 0 1 0 0 0.00
Wesley Barresi run out (Kusal Mendis) 52 50 6 1 104.00
Bas de Leede b Mahesh Theekshana 41 53 3 0 77.36
Teja Nidamanuru b Wanindu Hasaranga 0 2 0 0 0.00
Scott Edwards not out 67 68 4 2 98.53
Saqib Zulfiqar lbw b Mahesh Theekshana 2 5 0 0 40.00
Logan van Beek b Mahesh Theekshana 0 4 0 0 0.00
Shariz Ahmad run out (Kusal Mendis) 2 18 0 0 11.11
Ryan Klein b Wanindu Hasaranga 5 14 0 0 35.71
Aryan Dutt b Dasun Shanaka 7 25 0 0 28.00


Extras 16 (b 2 , lb 8 , nb 2, w 4, pen 0)
Total 192/10 (40 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Lahiru Kumara 2 0 17 1 8.50
Dilshan Madushanka 8 0 38 1 4.75
Mahesh Theekshana 9 2 31 3 3.44
Dasun Shanaka 4 0 18 1 4.50
Wanindu Hasaranga 10 0 53 2 5.30
Dhananjaya de Silva 7 0 25 0 3.57



අද ප්‍රතිඵලයත් සමඟ ඕමානයට 2023 ලෝක කුසලානයට තරග වැදීමේ අවසන් අවස්ථාවත් ගිලිහී ගියා. ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය ලෙස ඔවුන් ජූලි 2 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග වදිනවා. එහි උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<