අවාසනාවන්ත වූ කොදෙව්වන්ට එරෙහි තරගයට පෙර

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

2043
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට දැනටමත් සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව, ඊට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වෙමින් සහභාගී වෙන සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් මේ මස 07 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් Bulawayo Queens Sports Club ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ සියලු තරගවලට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට එක් වෙන්නේ Harare Sports Club ක්‍රීඩාංගණය වෙතයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 63ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 31ක දී ජයග්‍රහණ කොදෙව්වන් සතු කර ගන්නා ලද අතර තරග 29ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. ඉතිරි තරග 3 නිමා වෙන්නේ නොවිසඳුණ තරග ලෙසයි.

දෙරට කණ්ඩායම් අතර අවසන් වරට පැවති තරග 5 දී ශ්‍රී ලංකාව තරග 2ක් ද සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරග 2ක් ද බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට හමුව ඇත්තේ 2021 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කොදෙව් සංචාරයේ දී වන අතර තරග 3කින් යුත් එම තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයෝ තරග 3-0ක පරාජයක් ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

තරගාවලිය පුරා අපරාජිතව රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තව දුරටත් එම කිරුළ රැක ගැනීමට මෙම තරගයේ දී ද හැකි වෙනු ඇතැයි විශ්වාස කළ හැකි. මේ වෙද්දී ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සේ ම පන්දු යවන්නන්ගේ බලඇණිය ද ඉතා ශක්තිමත් තත්ත්වයේ පැවතීම ඊට හේතුවයි.

ආරම්භක පිතිකරුවන්ගේ සිට අංක 5 දක්වා වූ පිතිකරුවෝ වරින් වර හෝ තම කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා වූ දැක්වූ දක්ෂතා ඉතා ප්‍රශස්ත මට්ටමේ පවතිනවා. ඒ අතරින් පැතුම් නිස්සංක (72.50), දිමුත් කරුණාරත්න (57.20), ධනංජය ද සිල්වා (54.33) සහ චරිත් අසලංක (50.33) ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50 ඉක්මවා ලබා ගැනීම කැපී පෙනෙනවා.

ඊට අමතර ව සධීර සමරවික්‍රමගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 45.00ක් ලෙසින් තබා ගැනීමට සමත්ව සිටීම කණ්ඩායමේ පිතිකරු සංයුතියට විශාල ශක්තියක් ලෙස දැකිය හැකි.

කණ්ඩායමට පිතිකරුවන් ලෙසින් එක්වෙන කුසල් මෙන්ඩිස් තව දුරටත් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් වර්ධනය විය යුතු අතර දසුන් ශානකගෙන් මෙතෙක් පිතිකරුවෙක් ලෙසින් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම කණ්ඩායමේ මැදපෙළ අවිනිශ්චිත වීමට හේතු වී තිබෙනවා. ඔහු මේ දක්වා තරග 6ක ඉනිම් 4ක දී ලබා ගෙන ඇත්තේ ලකුණු 11ක් පමණක් වන අතර එහි සාමාන්‍ය දැක්වෙන්නේ 2.75ක් ලෙසයි.

තරගාවලියේ මේ දක්වා කඩුලු 20ක් ලබා සිටින වනිඳු හසරංග පන්දු යවන්නන් අතරින් වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා බවට තව දුරටත් පත්ව සිටී. එහෙත් ඔහු වෙත ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාරයන් හී අවම තත්ත්වයකට යා හැකි නම් ප්‍රතිවාදී පීඩනය අඩු කර ගැනීමට එය හේතුවක් විය හැකි.

කෙසේ වෙතත් ඔහු සමඟින් පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණගේ සේවයන් ද නිසි ලෙසින් කණ්ඩායම හා බද්ධ වී ඇති බැවින් මෙම තරගයේ දී ද ඔවුන්ගේ සේවය නොපිරිහෙළා ලැබෙනු නියතයි.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ප්‍රමුඛ කාර්ය කර ගනිමින් සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට එකී බලාපොරොත්තුව සඵල කරගෙන ඇති බැවින්, ඇතැම් විට මෙම තරගයේ දී සංචාරයට එක් වූ වෙනත් ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් ද මෙම තරගයට කැඳවීමේ ඉඩ කඩක් ද තිබිය හැකි.

බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ තරගයට එරෙහිව නම් කෙරෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සූදානම

සුපිරි හය වටයේ මෙතෙක් තරග 4ක් නිමා කළ කොදෙව්වේ ඉන් තරග 3ක් පරාජය වෙමින් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඔවුන්ට මෙම තරගයේ දී වඩාත් වැදගත් වන්නේ තම ගෞරවය රැක ගැනීම අරමුණු කර ගනිමින් තරගයට පිවිසීමයි. එසේ නොමැතිව මහා ප්‍රාතිහාර්ය ජයග්‍රහණයක් ලැබූව ද, ඔවුන්ට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ කඩඉම වන, මේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 2කට පිවිසීමේ හැකියාවක් නැහැ.

1975 සහ 1979 දී ලෝක ශූරයන් සහ 1983 වසරේ දී අනු ශූරයන් වු මතකයන් පමණක් උරුම කර ගත් කොදෙව්වෝ මෙවර තරගාවලියේ Group A කොටසෙන් සුපිරි හය වටයට පිවිසියේ ද තම කොටසේ අවසන් කණ්ඩායම බවට පත් වෙමින්.

කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී මේ තත්ත්වයට පත් වූව ද මේ දක්වා පැමිණි ගමනේ දී ඔවුන්ගේ පිතිකරණ දක්ෂතා ඉහළින් ම ලැයිස්තු ගත වීම අගය කළ යුතුයි.

එහි දෙවැනි ස්ථානය කණ්ඩායමේ නායක Shai Hope සතු වෙද්දී, තෙවැනි ස්ථානය Nicholas Pooran සතු කර ගන්නවා. එබැවින් කොදෙව්වෝ ද මෙම තරගය ලෙහෙසියෙන් අත හරී යැයි සිතිය නොහැකි.

ශ්‍රී ලංකාව හා සමඟ තරගයට එරෙහිව නම් කෙරෙතැයි අනුමාන කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: Shai Hope (නායක සහ කඩුලු රකින්නා) Brandon King, Johnson Charles, Keacy Carty, Nicholas Pooran, Kyle Mayers, Roston Chase, Keemo Paul, Kevin Sinclair, Romario Shepherd / Jason Holder, Akeal Hosein.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අවධානයට ලක් කළ යුතු ක්‍රීඩකයෝ

Shai Hope

කණ්ඩායමේ නායකයා මෙන් ම කඩුලු රකින්නා ද වන 29 හැවිරිදි වියේ පසුවෙන Shai Hope කොදෙව් කණ්ඩායමේ කොඳුනාරටිය බඳු ක්‍රීඩකයා ලෙසින් හැඳින්විය හැකි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඔහුගේ දක්ෂතාව තරග 6ක ඉනිම් 6ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ලකුණු 339යි. එය එරට ක්‍රීඩකයෙක් මෙවර තරගාවලියේ දී රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 114කට මුහුණ දෙමින් ශතක 15ක් සමඟින් ලකුණු 4827ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 9කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 573ක් රැස් කර ගැනීමට ද ඔහු සමත් ව සිටිනවා. එහි සාමාන්‍ය 63.66ක්.

Shai Hope නායකයෙක් ලෙසින් මේ දක්වා තරග 10කට සහභාගී වෙමින් තරග 6ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර තරග 3ක් පරාජිත තරග ලෙසිනුත් ලකුණු සම වීමෙන් නිමා වූ තරගයකුත් ලෙසින් අනෙකුත් තරග නිමා කරනවා.

නායකයෙක් ලෙසින් ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 74.14ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද ඔහු සමත් ව සිටිනවා.

Nicholas Pooran

27 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු Nicholas Pooran කණ්ඩායමේ වැඩි බරක් අදින පිතිකරු ලෙසින් හැඳින්විය හැකි. ඔහු මේ දක්වා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග 6ක ඉනිම් 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 336ක්. ඊට නේපාලයට සහ නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද ශතක 2ක් ද ඇතුළත්.

එක්දින ජාත්‍යන්තර තරග පිටියේ තරග 60කට පමණක් සහභාගී වී ඇති ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1969ක් වන අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව සහභාගී වූ තරග 7ක ඉනිම් 6ක ලකුණු 260ක් ද තිබෙනවා.

එක්දින තරග පිටියේ වාර්තා කරන ලද ශතක 3 අතරට ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 118ක් ද ඇති අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.

එක්දින තරග දිවියේ නායකයෙක් ලෙසින් තරග 17ක දී කටයුතු කර ඇති Nicholas Pooran ඉන් ජයග්‍රහණය කරන්නේ තරග 4ක් පමණයි. සෙසු තරග 13 පරාජිත තරග ලෙසිනුයි අවසන් කරන්නේ.

Brandon King

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග 6ක ඉනිම් 6ක දී ඕමානයට එරෙහිව ශතකයක් සහ නෙදර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 250ක් ලබා ඇති Brandon King කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි.

28 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ දක්වා කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 30ක් පමණක් වන අතර ලබා ඇත්තේ ලකුණු 959ක් පමණයි. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්.

Akeal Hosein

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ වමතින් දඟපන්දු යවන 30 හැවිරිදි වියේ පසුවෙන Akeal Hosein. ඔහු එක්දින තරග 37ක දී කඩුලු 56ක් ලබා ඇති අතර ඉන් කඩුලු 7ක් ම දවා ගන්නේ ක්‍රියාත්මක සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දීයි.

Jason Holder

ආසන්නත ම තරගයේ දී කොදෙව් කණ්ඩායම නියෝජනය නොකළ ද ශ්‍රී ලංකාව හා තරගයේ දී අසුනක් හිමි වෙතැයි විශ්වාසවන්ත මේ තුන් ඉරියව් ක්‍රීඩකයා කොදෙව්වන් වෙනුවෙන් එක්දින තරග 138ක දී ලකුණු 2237ක් සහ කඩුලු 159ක් දවාගෙන ඇති දක්ෂ ක්‍රීඩකයෙක්.

ක්‍රියාත්මක මෙම තරගාවලියේ දී තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 144ක් ද සහ කඩුලු 6ක් ද දවාගෙන දක්ෂතා දක්වා තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<