මහීශ් තීක්ෂණ නොනැවතී ඉදිරියට

743

ICCය මගින් ඊයේ දිනයේ යාවත්කාලීන කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) වල T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල එක් ස්ථානයක් ඉදිරියට එමින් එහි හත්වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලාංකික දඟපන්දු යවන මහීශ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

මෙය ඔහු පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමක මෙතෙක් ලද ඉහළම ස්ථානය වන අතර ඔහුගේ දඟපන්දු සගයා වන වනිඳු හසරංග එම ශ්‍රේණිගත කිරීම් වල හයවන ස්ථානයේ වෙනසක් නොවී මහීශ් අසලින්ම රැඳී සිටිනවා.

මීට පෙර විස්සයි විස්ස පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් වල හත්වැනි ස්ථානයේ සිටි ඉන්දියාවේ Bhuvneshwar Kumar ස්ථාන දෙකක් පසුපසට යමින් එහි නවවැනි ස්ථානයට ගොස් ඇති අතර සිව්වැනි ස්ථානයේ රැඳී සිටි ඕස්ට්‍රේලියාවේ Adam Zampa පස්වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. සිව්වැනි ස්ථානයට ඇෆ්ගනිස්තානයේ Rashid Khan පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ අයිතිය කිසිඳු වෙනසක් නැතිවම ඕස්ට්‍රේලියාවේ Josh Hazlewood හිමි කරගෙන සිටිනවා.

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන දහයේ සිදුව ඇති එකම වෙනස පාකිස්තානයේ Babar Azam සිව්වැනි ස්ථානය තෙක් පහළට ඇද දමමින් ඉන්දියාවේ Suryakumar Yadav තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වීමයි. සුපුරුදු ලෙස පාකිස්තානයේ Mohammad Rizwan විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ වැජඹෙනවා. ශ්‍රී ලාංකික පිතිකරු පැතුම් නිස්සංක ද එම ශ්‍රේණිගත කිරීම් වල අටවැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටිනවා.

මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන දෙකක් ඉදිරියට එමින් ඉන්දියාවේ Hardik Pandya එහි සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා විට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග එහි තෙවැනි ස්ථානයේ තව දුරටත් රැඳි සිටිනවා.

මීට අමතරව ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන දහය තුළ කිසිඳු සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති අතර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල පිතිකරුවන් අතර දහ වැනි ස්ථානය හිමි කරගැනීමට ඕස්ට්‍රේලියාවේ Steve Smith සමත් වී තිබෙනවා. එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල හයවැනි සහ හත්වැනි ස්ථාන හිමි කරගනිමින් ඉදිරියට ඒමට ඇෆ්ගනිස්තානයේ Mohammad Nabi සහ බංගලාදේශයේ Mehedi Hasan සමත් වී තිබෙනවා.

ක්‍රිකට් ලොවේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<