හදිසි සිදුවීමක් නිසා ශ්‍රී ලංකාවේ ඕමාන් ගමන පස්සට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන් තරග සංචාරය 2021

9374
Cyclone Shaheen delays Sri Lanka’s departure

ඕමානය සහ ඒ අවට ප්‍රදේශවලට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට පියාසර කිරීම ප්‍රමාද වෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) උදෑසනම ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සැලසුම් කර තිබුණා. නමුත් මේ හදිසියේම ඇතිව තිබෙන “ශාහීන්” නම් නිවර්තන වැහිකුණාටුව නිසාවෙන් එම ගුවන් ගමන අද (4) දිනය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙනවා.

මෙම වැහිකුණාටුව නිසාවෙන් ඕමානයට අධික වර්ෂාවක් පතිත වන අතර අගනගරය වන Muscat ආශ්‍රිතව ගංවතුර තත්වයක් ද හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙක මේ මස 7 වැනිදා සහ 9 වැනිදා Muscat හි Al-Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

එම තරග දෙකට පසුව එළඹෙන 12 වැනිදා සහ 14 වැනිදා පිළිවෙළින් බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනීයාව සමඟ පුහුණු විස්සයි විස්ස තරග දෙකකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටිනවා.

ඉන්පසුව ICC ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී නැමීබියාව (ඔක්තෝබර් 18), අයර්ලන්තය (ඔක්තෝබර් 20) සහ නෙදර්ලන්තය (ඔක්තෝබර් 22) සමඟ තරග කිරීමට නියමිතව සිටිනවා.

එසේම මේ ලෝක කුසලානයට දැනට නම් කර තිබෙන සංචිතවල යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය වේ නම්, එය ඔක්තෝබර් 10 වැනිදාට පෙර සිදු කළ හැකි වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඕමානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකට පසුව විස්සයි විස්ස ලෝක කුසලානයට තරග කරනු ලබන අවසන් ක්‍රීඩකයින් 15 නම් කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<