මහීෂ් ගැන නායක දසුන් ලොකු පැහැදීමකින්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

600

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්, 2014 T20 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව කඩුලු 7කින් පරාජය කරමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඊයේ (19) සමත් වුනා.

එපමණක් නොව එම ලබා ගත් දැවැන්ත තරග ජයග්‍රහණය නිසා A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට +2.607ක හොඳ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වුනා.

අබුඩාබි හි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ දී ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව ලකුණු 97කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනු අතර එහි දී 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා. ඊට අමතරව ලහිරු කුමාර සහ වනිඳු හසරංග ද කඩුලු දෙක බැගින් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

“අපි මේ තරගාවලියට ආවේ ගොඩක් හොඳට සැලසුම් කරලා. මහීෂ් තීක්ෂණ කියන්නේ අජන්ත මෙන්ඩිස් වගේ ඉරියව්වකින් පන්දු යවන දඟපන්දු යවන්නෙක්. මහීෂ් අජන්ත මෙන්ඩිස් එක්ක පුහුණුවීම් පවා කරලා තිබෙනවා. මහීෂ් ලොකු ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරලා නැති වුනත් ඔහු ඉතාමත් හොඳින් ඔහුගේ වගකීම කරනවා.”

”අපේ වේගපන්දු යවන බලඇණිය වුනත් ඉතාමත් හොඳ මට්ටමක ඉන්නවා. ඔවුන් අවසන් තරග කිහිපය පුරාවටම ඉතාමත් හොඳින් දස්කම් දැක්වූවා. මේ තරගාවලියේ ඉදිරියට යනකොට වේගපන්දු යවන්නන්ගෙන් ගොඩක් ලොකු රාජකාරියක් කණ්ඩායමට ලබාගන්න පුළුවන් වෙයි”, යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයට පසුව මේ අදහස් පවසා සිටියා.

“මම තවමත් වයස අවුරුදු 21ක ක්‍රීඩකයෙක්, ගොඩක් ආඩම්බරයි මට මේ වගේ වයසක දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට හැකිවුණු එක ගැන. මම මේ අබුඩාබි ක්‍රීඩාංගණයේ දී මීට කලිනුත් තරග ක්‍රීඩා කරලා තියෙනවා. අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දීත් (අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය) මම තරගයේ වීරයා වුනා. මම ඉදිරියේ දීත් මගේ රට මගේ කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”, යැයි මහීෂ් තරගයේ වීරයා වෙමින් මාධ්‍යයට සිය අදහස් පැවසුවා.

ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය හෙට (20) රාත්‍රි 7.30ට අයර්ලන්තයට එරෙහිව අබුඩාබි හිදී පැවැත්වෙනවා.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Hindustan Times ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<