අද මෙහි සිටින 35000ක් ඔබට වෛර කරනවා

ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ඔබ නෑසූ ජීවිත කතාව (දෙවන කොටස)

14255
Getty Images

1998/98 ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භයේ දී ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වෙනුවෙන් වෙන වෙනම කණ්ඩායම් දෙකක් සහභාගී කරවන්නට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව තීරණයකට පැමිණියහ. ඒ අනුව ටෙස්ට් කණ්ඩායමේ නායක මාක් ටේලර්ට සහ කඩුලු රකින්නා වූ ඉයන් හීලි එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන්නට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කළහ.

ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය ස්ටීව් වෝගේ කර මත පැටවුණු අතර කඩුලු රකින්නාගේ කාර්‍යභාරය නැවත වතාවක් ගිල්ක්‍රිස්ට්ට බාර කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබුණි.

“ඇත්තටම ඒක හරි අමාරු කාලයක්. විශේෂයෙන්ම ඉයන් හීලි එම තීරණය බාර ගත්තේ කිසිම කැමැත්තකින් නොවෙයි. හීල්ස් (ඉයන් හීලි) ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා නැවත වතාවක් කෙසේ හෝ ඔහු එක්දින කණ්ඩායමට පැමිණෙන බව.

Getty Images

හීල්ස්ගේ බලාපොරොත්තුවක් තිබුණා 1999 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට. තවත් දෙයක් කිව යුතුයි කණ්ඩායම නම් කළ වහාම මා අමතා මුලින්ම සුබ පැතුවේත් ඉයන් හීලි බව.”

ඉයන් හීලී මෙන්ම සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට්ලෝලීන් මෙම නව වෙනස හොඳින් බාර ගත්තේ නැත. ඉන්පසුව ගිල්ක්‍රිස්ට් සහභාගී වූ ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ තරග අතරතුර ප්‍රේක්ෂකයින්ගේ උසුළු විසිළුවලට ලක්වන්නට ගිල්ක්‍රිස්ට්ට සිදු විය. මෙම තරගාවලියට ඕස්ට්‍රේලියාවට අමතරව දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් එක්වී සිටියහ.

“මට මතක් වුනා බටහිර ඕස්ට්‍රේලියාවට පැමිණි මුල් සමය. නමුත් ඊටත් වඩා දරුණු ආකාරයකින් මෙවර ඔවුන් මට පහර දුන්නා. මා පන්දුවක් රැක ගත් වහාම හීලි, හීලි, හීලි යන්න ප්‍රේක්ෂකාගාරයේ සෑම තැනකින්ම ඇසුණා. නැවත වතාවක් මා දරුණු අභියෝගයකට මුහුණ දී ඇති බව මට හැඟී ගියා.

කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔහු නාසය කඩා ගනී

“එතකොට මට වයස අටක් හෝ නමයක් විතර ඇති. එදින රාත්‍රියේ රෝහලේ ඇදක් මතට වී…

ප්‍රේක්ෂකයින් පමණක් නොව ක්‍රීඩකයින් පවා මා විහිළුවකට ගත් ස්වරූපයක් තිබුණේ. තරගාවලියේ මා ක්‍රීඩා කළ පළමු තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. දකුණු අප්‍රිකාවට එරෙහිව. එම තරගයේ දී වැඩි වෙලාවක් පන්දුවට පහර දෙන්නට මට හැකියාවක් ලැබුණේ නැහැ.

මා කඩුල්ලට පැමිණි වහාම පැට් සිම්කොක්ස් මා වෙත පැමිණියා.

ගිලී, ඔබ හිතන්නේ අද කීදෙනෙක් මැච් එක බලනවා ඇති ද?

35,000ක් විතර. මම මෝඩයෙකු ලෙස පිළිතුරු දුන්නා.

ඒ කියන්නේ අද මෙහි සිටින 35000ක් ඔබට වෛර කරනවා

සිම්කොස් පැවසුවේ හිනහෙමින්.

පසුව ඔවුන් ඩැරල් කලිනන් පන්දු යැවීමට ගෙන්නුවා.

නැවත සිම්කොක්ස් මා වෙත ආවා.

ගිලී, අපි ඩැරල්ට  දැලකදීවත් පන්දු යවන්න දෙන්නේ නැහැ. මම හිතනවා ඔබ ඔහුට හොදින් මුහුණ දෙයි කියල.

මා සිටියේ විශාල පීඩනයක. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් කලිනන්ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් දීමෙන් මා දැවී ගියා. කලිනන් ඔහුගේ මුළු ක්‍රිකට් ජීවිතයේම ලබාගෙන ඇත්තේ කඩුලු හතරක් පමණයි. මුළු ක්‍රීඩාංගණයම නැවතත් සිනහා හඬින් පිරී ගියා.

මීළඟ තරගය පැවැත්වුණ ඇඩිලේඩ් පිටියෙදීත් තත්වය වෙනස්වුණේ නැහැ. ගැබා තරගයේ දී කිහිප දෙනෙකු හීලි නැවත කණ්ඩායමට එක් කරගන්නා ලෙස බැනර් කිහිපයක් ප්‍රදර්ශනය කළා.

එක්දින තරගාවලිය අතරතුර ටෙස්ට් තරග කිහිපයක් පැවැත්වුණ නිසා මට කෙටි විරාමයක් ලැබුණා. ඒ කාලය අතරතුරදීත් මාධ්‍යවේදීන් මා අතහැර තිබුණේ නැහැ.

එක්තරා රූපවාහිනි නාළිකාවක් අප දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගැනීමට කළ සමීක්ෂණයකින් 78% වැඩි  ප්‍රතිශතයකින් ජයගන්නට හිල්ස් සමත් වුනා. එම සමීක්ෂණයට සහභාගී වූයේ ඕස්ට්‍රේලියානු පළමු පෙළ තරග නියෝජනය කළ ක්‍රීඩකයින්. නමුත් ඒ වෙද්දී ඕනෑම තත්වයකට මුහුණ දෙන්නට මගේ මනස ශක්තිමත්වී තිබුණේ.”

එවර කාල්ටන් සහ යුනයිටඩ් ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සහ දකුණු අප්‍රිකාව සමත්ව සිටියහ. ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂම පෙරළිය සිදුවන්නේ මෙම තරග තුනකින් යුත් අවසන් මහා තරග මාලාවේ දී ය. 

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු නමයක් දැවී ලකුණු 241ක් ලබා ගන්නට සමත් විය. ඉනිම් දෙක අතරතුර විවේකයේ දී ඕස්ට්‍රේලියානු නායකයා ස්ටීව් වෝ කලක් තිස්සේ තමන්ගේ සිතේ නලියමින් තිබූ සැලසුමක් ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියේය. 

මොහොතකින් ස්ටීව් මා වෙත පැමිණියා.

“ගිලී අද මා ඔබ සමඟින් ඉනිම ආරම්භ කරන්නට හිතාගෙන ඉන්නේ” ස්ටීව් කීවා

මා තුළ ඇතිවුණේ මිශ්‍ර හැඟීම් සමුදායක්. උද්දාමය සමග යම් කිසි චකිතයක්.

අවාසනාවක මහත ඕස්ට්‍රේලියනු පිළේ හැඩකාර සහ වඩා විශ්වාසවන්ත ආරම්භක පිතිකරුවා වූ මාක් වෝ මගේ වරදින් දුවද්දී දැවී ගියා. අවසානයේ අපි ලකුණු හයකින් දකුණු අප්‍රිකාවට පරාජය වුනා.

දෙවන අවසාන මහා තරගයේදීත් අපට ලැබුණේ දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ඉලක්කයක් හඹා යෑමට. මගේ ක්‍රිකට් ජීවිතයේ පළමු ජාත්‍යන්තර ශතකය මා වාර්තා කරගන්නේ මේ තරගයේ දී.  

එතැන් පටන් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස මම මගේ ස්ථානය තහවුරු කර ගත්තා. ඇත්තටම එදා ස්ටීව් මා ආරම්භක පිතිකරුවෙකු කරන්නට ගත් තීරණය මගේ ක්‍රිකට් දිවියේ මට සිදු වූ හොඳම දෙයක් ලෙසයි මා සලකන්නේ. “

තෙවැනි අවසන් මහා තරගයත් ජය ගැනීම හේතුවෙන් 2-1ක් ලෙස තුන්කොන් තරගාවලිය ජය ගන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබුණි.

“සිඩ්නි ශතකය අතරතුර ප්‍රේක්ෂකයින් ගිලී, ගිලී කියා කෑසන්නට වුනා. මට ඇතිවුණේ ජයග්‍රාහි හැඟීමක්. “

Getty Images

එලෙස ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස තම ස්ථානය තහවුරු කර ගත් ගිල්ක්‍රිස්ට් 1999 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දීමට සුවිශේෂී දායකත්වයක් සැපයීය. පාකිස්තානය සමඟ ලෝඩ්ස්’හි පැවති අවසන් මහා තරගයේ දී වේගවත් අර්ධ ශතයක් රැස්කර ගන්නට ගිල්ක්‍රිස්ට් සමත් විය.

ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවති අයිවා තුන්කොන් එක්දින තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වන්නට ද ගිල්ක්‍රිස්ට් සමත් විය.

1999 වසර අග සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගන්නට ගිල්ක්‍රිස්ට් සමත් විය. ඒ දිගින් දිගටම අසාර්ථක වූ පළපුරුදු කඩුලු රකින්නා වන ඉයන් හීලි වෙනුවටය.

මතු සම්බන්ධයි…!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<