බැට් එක ද, මයික් එක ද? අපිට ඔය ඔක්කොම ඔට්ටුයි!

1378

මිල්ටන් මල්ලවආරච්චි කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ දැවැන්තයෙක්. ඔහු අපෙන් සමුගෙන මේ වෙද්ද අවුරුදු විසිපහකටත් වැඩියි. හැබැයි එතුමා ගැයූ ගීත තවමත් අපි අතරේ ජීවමානයි.  

මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා සංගීතඥයෙක් විතරක් නෙවෙයි උග්‍ර ක්‍රිකට් රසිකයෙක්. ඒ බව බොහෝ දෙනෙක් දන්න ප්‍රසිද්ධ කාරණාවක්. ක්‍රිකට් ගැන කතාව පටන් ගත්තොත් එතුමාට පැය ගානක් වුනත් කතා කරන්න පුළුවන් බව මල්ලවආරච්චි මහත්මයාගේ සමකාලීන හිතවතුන් කියනවා. 

එතුමාට සිහිනයක් තිබුණා කවදාහරි තමන්ගේ පුතා ඒ කියන්නේ අපි කවුරුත් දන්න ගායන ශිල්පී රනිල් මල්ලවආරච්චි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළටම යනවා දකින්න. 

අද අපි කතා කරන්න යන්නේ මල්ලවආරච්චිලාගේ ක්‍රිකට් එක්ක තිබුණ සබැඳියාව ගැන. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුනේ මිල්ටන් මල්ලවආරච්චි කියන අග්‍රගණ්‍ය කලාකරුවාගේ පුත්‍රයා රනිල් මල්ලවාරච්චි. ඔහු මේ දවස්වල ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර.

මහේල ජයවර්ධන සහ මාලිංග බණ්ඩාර සමඟ 

තාත්තාට පුදුම ක්‍රිකට් පිස්සුවක් තිබුණේ. ක්‍රිකට් ඉතිහාසය ගැන පුදුම මතකයක් පවා ඔහුට තිබුණා.  

තාත්තා ඒ දවස්වල ටෝනි ඕපාත වගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෝ එක්ක සැහැල්ලු පන්දු ක්‍රිකට් සෙල්ලම් කරලත් තියනවා. 

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් තාත්තා ගේ ගජ යාළුවෝ. බන්දුල වර්ණපුර, අනුර රණසිංහ, අජිත් ද සිල්වා වගේ අය ඒ අතරේ ඉස්සරහින්ම හිටියා.  

ඒ වගේම තාත්තා සපෝර්ට් කළේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට. මට මතකයි ඒ දවස්වල තාත්තා මාව එක්කං යනවා බ්ලූම්ෆීල්ඩ් ගහන මැච් බලන්න. මැච් එකක් තියන දවසට තාත්තා තියන සංගීත ප්‍රසංග කැන්සල් කරන් ඒවා බලන තරමට ක්‍රිකට් එක්ක බැඳිලා හිටියා.” 

කතාව ඇත්ත මීට අවුරුදු හතළිහකට පනහකට විතර කලින් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට්, ජාත්‍යන්තර තරග තරම්ම උණුසුම් මුහුණුවරක් ගත්තා.  

දේශීය තරග පිටියේ තරග වැදුණ මේ සෑම ක්‍රීඩා සමාජයකටම හිතවත්, පක්ෂපාතී රසික කුලකයන් පවා බිහි වෙලා තිබුණා. සාමාන්‍ය ක්‍රිකට් රසිකයින්ගේ ඉඳලා විවිධ සමාජ ස්ථරවල ක්‍රිකට් ලෝලීන් මේ අතරේ හිටියා.  

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත ද මේ ක්‍රීඩා සමාජවලට සහයෝගය දෙන්නන් අතරේ ඉස්සරහින්ම හිටියා. 

මිල්ටන් මල්ලවආරච්චි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට සහයෝගය දෙනකොට එච්. ආර්. ජෝතිපාල සහයෝගය දුන්නේ කෝල්ට්ස් කණ්ඩායමට.  

80 ගණන්වල මුල තිබුණ මගේ උපන්දින පාටියකට බන්දුල වර්ණපුර මහත්මයා එනවා මට මතකයි. ඒ ඔක්කොම පවුලේ යාළුවෝ.  

පස්සේ කාලෙක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න තාත්තාගේ හොඳම යාළුවෝ වුනා. විශේෂයෙන්ම ලෝක කුසලානය දිනුවට පස්සේ. 

තාත්තා නැති වුනේ 1998 අවුරුද්දේ. අපි ලෝක කුසලානය දිනලා අවුරුදු 2කට පස්සේ. ලෝක කුසලානය දිනපු දවසේ තාත්තා සෑහෙන සතුටු වුනා. මැරෙන්න කලින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් දිනනවා දකින්න ලැබුණ එක ඔහුගේ වාසනාවක්. 

තාත්තට මැච් බලන්න ගිහින් වෙච්ව හොඳ හැටි අත්දැකීම් තියනවා. 60 ගණන්වල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහේ ආපු වෙලාවේ ගස් උඩ නැගල මැච් බැලුවා කියලා ඔහු ඒ දවස්වල කියනවා. 

1981 කිම් හියුස්ගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මෙහේ ආපු වෙලාවේ බන්දුල වර්ණපුර ක්‍රීඩා කරන ආකාරය බලන්න ගියා මතකයි. 

තාත්තා වැඩියෙන්ම ආස කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ක්‍රීඩා ශෛලියට. විවියන් රිචර්ඩ්ස්, ක්ලයිව් ලොයිඩ් වගේ ක්‍රීඩකයින්ට තාත්තා පුදුම ආසයි. ඒ වගේම පාකිස්තානයේ ඉම්රාන් ඛාන්, ජාවේඩ් මියැන්ඩෑඩ්, වසීම් අක්‍රම්, මුදාසර් නසාර්, ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, දිලීප් වෙන්සාකර්, රවී ශාස්ත්‍රී, නවසීලන්තයේ මාටින් ක්‍රෝ, රිචර්ඩ් හැඩ්ලි, ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර්, ඩීන් ජෝන්ස් වෝ සහෝදරයෝ තාත්තාගේ කැමතිම ක්‍රීඩකයින්. 

ඒ කාලේ හුඟාක් තරග සජීවීව විකාශය කළේ නැහැ. පටිගත කිරීම් විදියට පස්සේ පෙන්නනවා. එහෙමයි කියලා අපි අතෑරියේ නෑ. ගුවන් විදුලියෙන් හරි මැච් එක අහනවා. 

1995/96 ඕස්ට්‍රේලියාවේ තිබුණ බෙන්සන් සහ හෙජස් කුසලාන තරගවල දී සනත් ජයසූරිය ක්‍රීඩා කරන ආකාරය දැකලා තාත්තා සනත් අයියා සෙල්ලම් කරන විදියට වහ වැටුණා. දැන් තමයි අපේ ක්‍රිකට් පටන් ගන්නේ තාත්තා ඒ දවස්වල කිව්වා. 

සනත් අයියාගේ කැමතිම ගායකයා තාත්තා වෙද්දී තාත්තාගේ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා වුනේ සනත් ජයසූරිය. 

මම හිතන්නේ ඔහු සංගීතයටත් වඩා ක්‍රිකට්වලට ආදරය කළා. 

තාත්තාට ඕන වුනා මාව හොඳ ක්‍රිකටර් කෙනෙක් කරන්න. 80 ගණන්වල මුල තාත්තා මාව ලයනල් මෙන්ඩිස් සර් ගාවට අරන් ගියා. මට හරියටම බැට් එක අල්ලන විදිය පවා කියලා දුන්නේ ලයනල් මෙන්ඩිස් සර්.

පස්සේ සර් ගාවට ආවා. 

මහේල මට වඩා අවුරුදු තුනක් විතර බාල ඇති.  

අර්ජුන රණතුංග ජාතික කණ්ඩායම නියෝජනය කරද්දිත් සර්ව හම්බෙන්න එනවා තාම මතකයි. කුමාර් ධර්මසේන නාලන්ද විද්‍යාලයේ මගේ සමකාලීන මිත්‍රයා. ඒ යාළුකම් අදටත් එහෙමයි. 

1989 අවුරුද්දේ වයස අවුරුදු 18න් පහළ තරගයක් නාලන්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වුණා. මට මතක විදියට නෝමැඩ්ස් ක්‍රීඩාංගණයේ දී. මම තමයි නාලන්දය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ. ඒ තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ වමත් පන්දු යවන්නෙක්. පස්සේ කාලෙක ඒ හීන්දෑරී පන්දු යවන්නා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සෑහෙන දුරක් ගියා. චමින්ද වාස් කියන අතිදක්ෂයා මට මුලින්ම මුණගැහුණේ අන්න එහෙම. 

මම ගොඩාක් වෙලාවට ක්‍රීඩා කළේ කඩුලු රකින ගමන් ආරම්භක පිතිකරුවෙක් විදියට. පා දඟපන්දු යවන්නත් මට පුළුවන්කමක් තිබුණා.

90 ගණන්වල මැද මම තීරණය කළා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මට සංගීතය පැත්තෙන් අනාගතයක් ඇති බව. 

මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙත් ක්‍රිකට් අමතක කළේ නැහැ. පහුගිය අවුරුදු 12-13 කාලයේ ඕස්ට්‍රේලියාවේ ලයන්ස් ස්පෝර්ට්ස් ක්ලබ් කියන ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. ක්‍රිකට් එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. 

දැන් නම් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්ක මගේ ගනුදෙනුව සෝෂල් මීඩියා හරහා තමයි. දිමුත් මල්ලි (දිමුත් කරුණාරත්න) චාමික මල්ලි (චාමික කරුණාරත්න) එහෙම මගේ කිට්ටු මිත්‍රයින්.” 

මගේ පුතා පවන් පුංචි කාලේ හේමන්ත දේවප්‍රිය යටතේ පුහුණු වෙලා තියනවා. හැබැයි ඔහු දිගම ක්‍රීඩාව කළේ නැහැ.” 

ලිපිය සැකසීම වෙනුවෙන් තිළිණ මලලසේකර මහතාට විශේෂ ස්තුතිය. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<