තම කණ්ඩායම ගැන බංග්ලාදේශ නායකයා අවතක්සේරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

2523

බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හෙට (02) දිනයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගැනීමට තම කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ අවතක්සේරුවකින් යුතුව අදහස් පළ කර තිබෙනවා.

නමුත් හෙට ඇඩිලේඩ් හිදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙස (favourites) බොහෝ දෙනා ඉන්දියාව නම් කළ ද, තරගයේ දී වෙනසක් සිදු කිරීමට තමන් උපරිම උත්සාහ කරන බව ද Shakib විසින් පවසා තිබෙනවා.

එමෙන්ම ඔහු හෙට තරගය පිළිබඳව තම තරුණ කණ්ඩායම අමතමින් කියා සිටියේ, ඔවුන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට නොපැමිණි බව හැඟෙන බැවින්, ඉන්දියානු කණ්ඩායමේ සියලු ශක්තීන් අමතක කර දමා ‘නැති වෙන්නට දෙයක් නැතැයි’ සිතා හෙට තරගය ක්‍රීඩා කරන ලෙසයි.

නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව ජය ලැබීමෙන් පසු බංග්ලාදේශයේ මීළඟ බලාපොරොත්තුව කුමක්ද යන්න විමසූ විට Shakib මේ බව පවසා තිබුණා.

“අපිට ඉදිරි තරග දෙකේ දී (ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව) හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ඒ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට අපිට හැකි වුනොත් එය මෙම තරගාවලියේ ‘අප්සට්’ එකක් විදිහට සලකාවි.”

“ඒ විදිහේ දෙයක් කරන්න අපි කැමතියි. ඒ කණ්ඩායම් දෙකම අපිට වැඩිය හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කළොත්, එදා අපේ දවස වුනොත්, ඇයි අපිට දිනන්න බැරි?”

“අපි දැක්කා මේ තරගාවලියේ දී අයර්ලන්තය විසින් එංගලන්තය පරාජය කරනවා. ඒ වගේම සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කරනවත් අපි දැක්කා. ඒ හා සමාන ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්.”

“මම කලින් කිව්වා වගේම ඉන්දියාව තමයි බලාපොරොත්තු සහගත කණ්ඩායම, ඔවුන් ආවේ ලෝක කුසලානය දිනන්න. අපි එහෙම බලාපොරොත්තු සහගත කණ්ඩායමක් නෙවෙයි. අපි මෙහාට ආවේ ලෝක කුසලානය දිනන්න නෙවෙයි. අපි දන්නවා අපිට ඉන්දියාව පරාජය කරන්න පුළුවන් වුනොත් ඒක ‘අප්සට්’ එකක් විදිහට සලකාවි. අපි අපේ හොඳම දක්ෂතාවයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේවා සාමාන්‍යයෙන් ක්‍රිකට් රසිකයින්ට ඇසීමට අවශ්‍ය අන්දමේ වචන නොවේ (විශේෂයෙන්ම මෙවැනි ලෝක කුසලාන තරගාවලියක දී). මෙතෙක් විස්සයි විස්ස තරගවල දෙරට අතර පැවැත්වූ තරගවලින් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. (ඉන්දියාව – 10, බංගලාදේශය – 1)

එමෙන්ම හෙට තරගය පැවැත්වීමට නියමිත ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ තරග 29ක් ක්‍රීඩා කර ඇති ඉන්දියාව වඩාත් භයානක ස්වරූපයක් ගනු ඇති බව මෙතෙක් ඇඩිලේඩ් වල එක් තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා විශ්වාස කරනවා.

“මට හරියටම කියන්න බැහැ, දිවා රාත්‍රී තරගයකින් දෙපාර්ශවයටම සමාන අවස්ථා ලැබෙනවා ද, නැද්ද කියලා. ඉන්දියාව මේ ක්‍රීඩාංගණයේ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග රැසක් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් අපේ කණ්ඩායමෙන් මම සහ Taskin විතරයි මෙහේ තරගයක් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කණ්ඩායම් දෙකට එකම විදිහට නෙවෙයි දැනෙන්නේ. අපි උපරිමයෙන් උත්සහා කරලා, ඒ වගේම අපේ 100%ක් දීලා හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්න උත්සාහ කරනවා.”

“ඉන්දියාව මෙම තරගාවලියේ මුණගැසුනු සියලුම කණ්ඩායම් ලකුණු 160ට අඩුවෙන් සීමා කරන්න සමත් වුනා. අපිට මෙවර ලෝක කුසලානයේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය වන 160-170ක් රැස් කරගැනීමට අවශයි නම් ඉතාම හොඳින් පිතිකරණයේ යෙදෙන්න සිදුවෙනවා. අපිට ඉන්දීය පන්දු යවන්නට හොඳින් මුහුණ දෙන්න සිදුවෙනවා. ඔවුන්ට ලෝක මට්ටමේ පන්දු යවන්නන් කිහිපදෙනෙක්ම ඉන්නවා.”

විශේෂයෙන්ම වේගවත් සහ ඉහළ ඉපිලීමක් තිබුණු ගැබා තණතීරුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලද තියුණු ජයග්‍රහණය වෙනුවෙන් තම කණ්ඩායම පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කිරීමට Shakib අමතක කළේ නැහැ. එම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 150කට අඩු ඉලක්කයක් ආරක්ෂා කරගනිමින් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.

“බොහෝ විස්සයි විස්ස තරගවල තීරණය ලැබෙන්නේ අවසන් පන්දුවාර දෙකේ දී. ඒ නිසා කලබලකාරී නොවී සිටීම ඉතාම වැදගත්. අපි ඉතාම ආසන්න අවස්ථාවලින් තරග පැරදුණු කාලයේ සිට නැවත හැරෙමින් සිටිනවා. අපි ආසන්න අවස්ථාවලට පැමිණි තරග කිහිපයක්ම ජයග්‍රහණය කරමින් දියුණු වෙමින් සිටිනවා.”

“අපේ දක්ෂතාවයන් ගැන මම අනිවාර්‍යෙන්ම සෑහීමකට පත්වෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහි තරගය හැර ඉතිරි තරග සියල්ලේම අපි හොඳින් ක්‍රීඩා කළා. විස්සයි විස්ස තරගවල දී එය සිදු විය හැකි. වෙනස් තත්ව යටතේ, විවිධ අසීරුතා මධ්‍යයේ අපිට ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මට විශ්වාසයි අපේ කණ්ඩායමට ස්ථාවරව හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.”

එමෙන්ම 2015 ලෝක කුසලානයේ මෙම ක්‍රීඩාංගණයේ දී ඔවුන්ට මුණ ගැසුනු එංගලන්ත කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින් එම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය (knockout stages) තෙක් රැගෙන ගිය මතකයන්ගෙන් ඔවුන්ව උද්දීපනය වනු ඇති බව ද Shakib විසින් විශ්වාස කරනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<