හොංකොං ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගනී

ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2022

549

එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හොංකොං කණ්ඩායම ඊයේ (24) සමත් වුනා.

ඒ, ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕමානයේ දී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගෙනයි.

ඒ අනුව ඔවුන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව සහ පාකිස්තානය සමඟ A කාණ්ඩයෙන් තරගාවලියට අවතීර්ණ වෙනවා.

ඔවුන් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් හිමි දිනා ගත් අතර, කුවේට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් සමඟින් එහි දෙවැනි ස්ථානයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රසාද ලකුණු 2ක් සමඟින් එහි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

තරග වැදුණු තරග සියල්ලම පරාජයට පත් වූ සිංගප්පූරුවට හිමි වූයේ සිව්වැනි හා අවසන් ස්ථානයයි.

තරගාවලියේ තීරණාත්මක 6 වැනි හා අවසන් තරගය ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟම හොංකොං කණ්ඩායම අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තා.

එහි දී තරගයේ පළමුව පන්දුවට පහර දුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 147ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

හොංකොං කණ්ඩායම මීට පෙර 2018 වසරේ දීත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එවර තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ අතර අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් හොංකොං කණ්ඩායම සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<