ජයග්‍රාහී එංගලන්ත ටෙස්ට් සංචිතය තවත් සටනකට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

168

එළෙඹෙන අගෝස්තු මස 05 වැනිදා පාකිස්තානය සමඟ ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා පසුගියදා කොදෙව්වන්ට එරෙහිව අවසන් ටෙස්ට් තරගය සඳහා නම් කළ එංගලන්ත සංචිතයම නම් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. එම සංචිතය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් වේ.

>>ලෝක ටෙස්ට් ශුරතාවයට මොකද වෙන්නේ?<<

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගාවලියක් වන මෙම තරගය සඳහා නම් කළ එංගලන්ත සංචිතය, සුපුරුදු පරිදි වේගපන්දු යවන ක්‍රීඩකයින් සය දෙනෙකුගෙන් සවිමත් කර ඇත. එම සය දෙනාම පසුගියදා තරග 2-1ක් ලෙස කොදෙව්වන් පරාජය කළ ටෙස්ට් සංචිතය තුළ සිටි වේගපන්දු යවන්නෝ වීම සුවිශේෂී වේ. 

එංගලන්ත ටෙස්ට් සංචිතය – ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්රා ආර්චර්, ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සැක් ක්‍රොව්ලි, සෑම් කරන්, ඔලී පෝප්, ඩොන් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්. 

කොදෙව්වන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ස්ටෝක්ස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ අතර එම තරගය එංගලන්තය පරාජයට පත්විය. අනතුරුව දෙවන තරගය සඳහා එංගලන්තය ජෝ රූට්ගේ නායකත්වය යටතේ සංචිතයක් නම් කළ අතර එහිදී පළමු ටෙස්ට් තරගයට නම් කළ සංචිතයට සාපේක්ෂව වෙනස්කම් කිහිපයක් සිදුව තිබුනි. ඒ අනුව සංචිතයෙන් ඉවතට ගිය ජෝ ඩෙන්ලි ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සඳහා මෙම සංචිතය තුළ සිය ස්ථානය අහිමිව ඇත. 

මෙම ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුනි. ඒ අනුව ජේම්ස් බ්‍රේසි, බෙන් ෆෝක්ස්, ජැක් ලීච් සහ ඩෑන් ලෝරන්ස් යන ක්‍රීඩකයින් එංගලන්ත ටෙස්ට් සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් වී තිබේ. 

තරග කාලසටහන

පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 5-9 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය 

දෙවන ටෙස්ට් තරගය – අගෝස්තු 13-17 – Ageas Bowl 

තෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 21-25 – Ageas Bowl

පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 28 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය

දෙවන විස්සයි විස්ස තරගය – අගෝස්තු 30 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය 

තෙවන විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 1 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<