“අපි ඉක්මනින්ම වැරදි හදාගන්න ඕනේ” Grant Flower

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලිය 2021

1188

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු වුනා. පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසාර්ථක වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණ අසාර්ථකත්වයට හේතුව කුමක්ද? මේ මෙරට පිතිකරණ පුහුණුකරු Grant Flower ඊයේ (12) තරගයෙන් අනතුරුව දැක්වූ අදහස්.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මෙම තරගයට එක්වුනේ ආබාධ කීපයක් නිසා දිගු කලක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමෙන් අනතුරුවයි. ඔහුගේ උරහිසේ ආබාධයකට අමතරව ඔහුට කොරෝනා වයිරසය ද ආසාදනය වී තිබුණා. කුසල් පෙරේරාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව Grant Flower අදහස් දක්වා සිටියා.

කුසල් පෙරේරාගේ උරහිසේ තාමත් පොඩි ආබාධයක් තියනවා. ඒත් ඔහු ඔහුගේ සුපුරුදු යෝග්‍යතාවයට එමින් ඉන්නේ. ඔහු තවමත් 100% සුව වෙලා නැහැ. ඒත් අපි හිතුවා මේක තමයි හොඳම වෙලාව කියලා ඔහුව කණ්ඩායමට එක් කරන්න. මොකද කණ්ඩායමට පිතිකරණයෙන් යම් තල්ලුවක් අවශ්‍ය වෙලා තිබුණේ. අද (12) තරගය ගත්තොත් ඔහු තමයි හොඳම පිතිකරුවා වුනේ. ඒකෙන් පේනවා ඔහුගේ විශිෂ්ටත්වය. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ යෝග්‍යතාව ඉක්මනින්ම හොඳ මට්ටමකට ඒවි කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු යවන්නන් හමුවේ දිගින් දිගටම අසාර්ථක වීම පසුගිය තරග කීපය තුල දී ම දක්නට ලැබුණා.

අද දවසේ පිතිකරුවන් දඟපන්දු යවන්නන්ට මුහුණ දුන්න ආකාරය තරමක් දුර්වලයි. ඒක ක්‍රීඩකයන්ගේ පුහුණුව මදිකම නෙමෙයි. පුහුණුවීම්වල දී අපි ගොඩක් පන්දු පුහුණුවීම් කරනවා. අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි නිතරම කතා කරනවා. ඒත් මේ වෙලාවේ ඔවුන්ගේ මානසික ස්ථාවරත්වය තරමක් අඩුයි. අපි දැක්කා ඔවුන් වැරදි වෙලාවල්වල දී අනවශ්‍ය තීරණ ගන්නවා. මම හිතන්නේ ඒ ඔවුන්ට තියන පීඩනය නිසා. දකුණු අප්‍රිකානු කණ්ඩායම ඒකෙන් ප්‍රයෝජනය ගත්තා. ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඔවුන් හොඳ ස්ථානවලට පන්දු යොමු කළා. අපි දැක්කා ඔවුන් හොඳ දඟකැවීමක් සහ ඉපිලීමක් ලබාගන්නවා. අපිට ඒවාට අනුවර්තනය වෙන්න පුළුවන් වුනේ නැහැ.

ලෝක කුසලාන තරගාවලියේ දී සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සාර්ථක වෙන්න නම් මේ දේවල් ඉක්මනින්ම හදාගන්න ඕනේ. “

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දඟපන්දු යවන්නන් හමුවේ sweep පහර සහ reverse sweep සාර්ථක ලෙස යොදා ගත්ත ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එය යොදාගැනීම තරමක් දුර්වල වුනා. Grant Flower ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

අපේ පිතිකරුවන්ගෙන් ටික දෙනෙක්ට තමයි නිවැරදිව ඒ පහරවල් එල්ල කරන්න පුළුවන්. අනෙක් කාරණය පිතිකරුවන් හිතනවා sweep හෝ reverse sweep පහර එල්ල කරන්නේ නැතුව පන්දු යවන්නන් මෙල්ල කරන්න පුළුවන්  කියලා. නමුත් මේ වගේ දඟකැවීමක් තියන තණතීරුවල අපිට ඉස්සරහට ඇවිල්ලා පහරකට යන්න බැරි නම් මේ පහරවල් එල්ල කරන එක ඵලදායි වෙනවා. ක්‍රීඩකයන් මේ පහරවල් පුහුණු වෙනවා. මම හිතන්නේ ඔවුන් තවත් පුහුණු විය යුතුයි. මේ පහරවල් එල්ල කරන්න පහර ගැන හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය ඇතිකරගන්න ගොඩක් පුහුණුවීම් කරන්න ඕනේ. අපි ක්‍රීඩකයන් එක්ක මේ ගැන නිතරම කතා කරනවා. ඒත් ක්‍රීඩාංගණය තුළ දී ඔවුන්ට එන පීඩනය එක්ක මේ දේවල් වෙනස් වෙනවා.

මේ ගැන අපි යම් අවධානයක් යොමු කරන්න ඕනේ. අපිට හයේ හතරේ පහරවල් වලට යන්න බැරි වෙලාවක අපි උත්සාහ කරන්න ඕනේ මේ පහරවල් වලින් ලකුණු එක දෙක හෝ ලබාගන්න. Sweep පහර විතරක් නෙමෙයි. අපි අනෙක් විකල්ප ගැනත් බලන්න ඕනේ.”

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පසුගිය තරගාවලි කීපය තුල පිතිකරණයෙන් අසාර්ථක වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. දේශීය තරගාවලිවල දී ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ ද, ජාත්‍යන්තර තරගවල දී ඔහුගේ දායකත්වය අවම මට්ටමක පැවතුණා..

ඔහු පුහුණුවීම්වල දී ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඔහුට ඉතාමත් ලස්සන පහරවල් තියනවා. ඒ වගේම ඔහු දේශීය තරගාවලිය තුල ප්‍රබල දස්කම් දැක්වුවා. සමහර විට නායකත්වයත් එක්ක එන පීඩනය නිසා ඔහුගේ දස්කම් අඩු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔහු තමයි ඒකට උත්තර හොයන්න ඕනේ. මේක ඔහුගේ සේවය අවශ්‍යම වෙලාවක්.”

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ දී ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර ඔවුන් powerplay පන්දුවාර 6 සඳහා ලකුණු 52ක් වාර්තා කළ නමුත් මැදපෙළ ක්‍රීඩකයන්ගේ අසාර්ථකත්වය නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කට සීමා වුනා.

අපි අද powerplay පන්දුවාරවල දී ලකුණු 50ක් ලබා ගත්තා. ඒ වගේම කුසල් පෙරේරා සහ භානුක ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඔවුන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය තවත් පන්දුවාර කීපයක් පවත්වා ගන්න තිබුණා. ඔවුන් ලබා ගත්ත ආරම්භය හොඳයි. අනෙක් ක්‍රීඩකයන් එයට දායක වෙන්න තිබුණා. මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. අපිට පුහුණු තරග කීපයක් තියනවා. ඒ වගේම අපි මේ ගැන එක් එක් ක්‍රීඩකයා එක්ක කතා කරන්න ඕනේ. මම හිතනවා මේ දවස් දෙකේ දී කණ්ඩායම ඔවුන්ගේ වැරදි හඳුනා ගෙන අවසන් තරගයට ඒවි කියලා.”

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<