ඉතිහාසය අලුත් කළ තරගයක්; අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටියට

2560

SLC ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග පසුගිය සතියේ දී නිමාවට පත්වූ අතර අනෙක් පසින් එහි B කාණ්ඩයේ තරගාවලියේ තරග පසුගිය සතියේ දී ආරම්භ විය. එහි දී කණ්ඩායම් අතර ඉතා උද්වේගකර තරග කිහිපයක්ම පැවති අතර එහි දී කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට ද කිහිප දෙනෙක්ම සමත් විය. එමෙන්ම එළඹෙන සති අන්තයේ දී ද තවත් උණුසුම් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිත ය.

“ඔවුන් දන්නවා මගේ වැඩ” – හතුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීම් භාර ගැනීමෙන් අනතුරුව …

පසුගිය සතියේ A කාණ්ඩය යටතේ පැවති තරගවලින් වඩාත් උද්වේගකරම තරගය වූයේ BRC කණ්ඩායම සහ Chilaw Marians කණ්ඩායම අතර කටුනාටක FTZ ක්‍රීඩාංගණයේ දී පැවති තරගය යි.

එම තරගයේ පළමු දින දෙක තුළ තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම දෝලනය වුවත් එහි අවසන් දිනයේ දී BRC කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 95ක් වැනි පහසු ඉලක්කයක් හිමි වීම නිසා එය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.

කෙසේ නමුත් ප්‍රතිවාදී කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර සහ සචිත්‍ර සේරසිංහ දඟපන්දු යැවීමේ සුසංයෝගය ඔවුන්ව ලකුණු 94කට දවාගනිමින් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසය තුළ ලකුණු සමවීමෙන් අවසන් වූ දෙවන තරගය ලෙසත්, එහි දී ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 95ක ඉලක්කය ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් පිටිය තුළ හඹායාමට අපොහොසත් වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසත් ඉතිහාසයට එක්විය.

තවදුරටත් SSC සහ NCC කණ්ඩායම් පිළිවෙළින් Saracens සහ Tamil Union කණ්ඩායම් පරාජයට පත්කරමින් තීරණාත්මක ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් වූ අතර පසුගිය සතියේ දී පිතිකරුවෙක් දැක්වූ ඉහළම දක්ෂතාවය දැක්වීමට CCC කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සමත් විය. ඔහු එහි දී Moors SC කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 177ක් වාර්තා කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් එහි දී පළමු ඉනිම ඔවුන් පරාජයට පත්විය.

BRC සහ Chilaw Marians කණ්ඩායම් අතර පැවති තරගයේ දී Chilaw Marians කණ්ඩායමට තරගය ලකුණු තත්වය සම කරගනිමින් අවසන් කර ගැනීමට මඟ පෑදූ මලින්ද පුෂ්පකුමාර එම තරගය තුළ කඩුලු 10ක් දවා ගනිමින් පසුගිය සතියේ දී පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට සමත් විය. කෙසේ නමුත් නැඟී එන පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාවය දැක්වීමට සමත් වූයේ චම්පක රාමනායකගේ බාල පුත් BRC කණ්ඩායමේ හිමේෂ් රාමනායක විසිනි. ඔහු කඩුලු Chilaw Marians දෙවන ඉනිමේ දී කඩුලු 5ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ප්‍රබල පිතිකරණ බලඇණිය ලකුණු 117ක් වැනි අඩු සංඛ්‍යාවකට දවා ගැනීමට අවශ්‍ය අඩිතාලම සැකසීය.

තරගාවලියේ B කාණ්ඩය යටතේ ද උද්වේගකර තරග කිහිපයක්ම පැවති අතර ඒ අතරින් ගුවන් හමුදාව සහ ප්‍රබල ගාල්ල ක්‍රිකට් සමාජ කණ්ඩායම අතර පැවති තරගය සුවිශේෂී වේ. එම තරගය පුරාවට සිය අණසක පතුරුවා ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් වූ අතර එහි අවසානයේ ලකුණු 212ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 39ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවී ගියේය. කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පැමිණි ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන දුලාෂ් උදයංග ශතකයක් වාර්තා කර ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම තරගයේ ජයග්‍රහණයට මෙහෙයවන්නට සමත් විය. එහි දී ඔහුට ගයාන් සිරිසෝම, චරිත බුද්ධික සහ හසන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ගෙන් ද මනා සහයෝගයක් හිමි විය.

ශ්‍රී ලංකාවේ 100 වන T-20 තරගයට ඉන්දියාවෙන් සාදයක්

ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ශතක තරගය අවසන් වුණේ ලැජ්ජා සහගත පරාජයක් සමඟයි. ඉන්දියාවේ …

තරගාවලියේ B කාණ්ඩයේ වාර්තා වූ අනෙක් පූර්ණ ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් වූයේ නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම යි. එහි දී කුසල් එදිරිසූරිය ශතකයක් වාර්තා කරගනිමින් නාවික හමුදා ක්‍රීඩා සමාජය කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයකට මෙහෙයවන්නට සමත් විය. එමෙන්ම ලංකන් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී ලංකන් ක්‍රිකට් සමාජය තරගය පරාජයට පත්වීමට ඉතා ආසන්නයට පැමිණියත් එහි දී ගීත් කුමාර ක්‍රීඩා කළ සටන්කාමී ඉනිම නිසා තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔවුන් සමත් විය.

B කාණ්ඩය තුළ පන්දුවෙන් වාර්තා වූ ඉහළම දක්ෂතාවය කුරුණෑගල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 8ක් වාර්තා කරගත් තුසිත් ද සිල්වා විසින් වාර්තා කරගනු ලැබූ අතර ඊට අමතරව රජීව වීරසිංහ, ෂොහාන් රංගික සහ නිමේෂ් විමුක්ති යන ක්‍රීඩකයින් ද කඩුලු 5 බැගින් වාර්තා කර ගැනීමට සමත් විය.

එළඹෙන සතියේ  දී පැවැත්වීමට නියමිත තරග අතරින් CCC කණ්ඩායම සහ Colts කණ්ඩායම අතර තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකි අතර යුද හමුදා ක්‍රීඩා සමාජය සහ Tamil Union කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ThePapare.com, Dialog TV නාලිකා අංක 1 සහ Dialog MyTV ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව ඔබට හිමි වේ.

එමෙන්ම ආබාධයකට ලක්වීම හේතුවෙන් වසර 2ක කාලයක් සඳහා ක්‍රීඩාවෙන් ඈත්ව සිටි අජන්ත මෙන්ඩිස් ඉදිරි සතියේ දී නැවතත් යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය.

B කාණ්ඩය යටතේ ප්‍රබල ගාල්ල ක්‍රිකට් සමාජය නැවතත් තරගාවලියට අවතීර්ණ වීමේ අරමුණින් එම කාණ්ඩය සඳහා අළුතින් උසස් වීමක් ලබාගත් මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. එමෙන්ම B කාණ්ඩය සඳහා උසස් වීමක් ලබාගත් අනෙක් කණ්ඩායම වන Kalutara Town Club කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගය ලෙස පානදුර ක්‍රීඩා සමාජයට එරෙහි තරගයට එළඹෙන සතියේ දී සහභාගී වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<