හිමාෂ ඒෂාන්ගේ තරග තහනම දීර්ඝ වෙයි

226

තහනම් උත්තේජක ලබා ගැනීම නිසා තරග තහනමකට ලක්ව සිටින හිටපු මීටර් 100 දකුණු ආසියානු ශූර හිමාෂ ඒෂාන් හට පැනවූ තරග තහනම දීර්ඝ කිරීමට ජාතික උත්තේජක මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 03 වැනිදා පැවති කරුණු විමසීමෙන් පසුව එම දඬුවම වසර 6ක් දක්වා දීර්ඝ කිරීමට  ජාතික උත්තේජක මර්දන ඒකකයේ අභියාචනා කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හිමාෂට 2027 වසරේ ඔක්තෝබර් 25 තෙක් මලල ක්‍රීඩා කටයුතුවල නිරත වීම තහනම් වන අතර එම තහනම සමඟ හිටපු මීටර් 100 ජාතික ශූරයාට නැවත ක්‍රීඩා පිටියට පිවිසීමේ අවස්ථාව අහිමි වීමට වැඩි ඉඩක් පවතී.

28 හැවිරිදි වියේ පසු වන හිමාෂ ඒෂාන් 2021 වසරේ ඔක්තෝබර් 26 ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ දී සිදු කළ අහඹු පරීක්ෂාවක දී තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වී තිබුණා.

එම නිසා ඔහුට 2025 දක්වා වසර 4ක තහනමක් පැනවීමට මීට පෙර ජාතික උත්තේජක මර්දන ඒකකය කටයුතු කර තිබූ නමුත් පසුව කරුණු සලකා බලා වසර 6ක් දක්වා තහනම දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

හිමාෂ තහනම් උත්තේජක ලබා ගැනීමට නිසා තරග තහනමකට ලක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහුගේ වයස 17 දී තහනම් උත්තේජක ලබා ගැනීම නිසා තරග තහනමකට ලක් වුනා.

එහි දී ඔහුට වසර දෙකක තහනමක් පැන වූවත් ඔහුගේ වයස සලකා බලා එය අඩු කිරීමට කටයුතු කළා.

කලක් දකුණු ආසියානු මීටර් 100 පිටියේ ආධිපත්‍ය රඳවා ගෙන සිටි හිමාෂ 2016 වසරේ දී ඉසව්ව තත්පර 10.22ක කාලයකින් අවසන් කර එහි දකුණු ආසියානු වාර්තාව පිහිට වූ අතර ඔහු මීටර් 100×4 සහය දිවීමේ ජාතික වාර්තාව පිහිට වූ කණ්ඩායමේ සාමාජිකයෙක් ද වෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<