දකුණුලක ක්‍රිකට් සටනේ ජය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට!

386

අනාගතය දිදුලවන යොවුන් ක්‍රිකට් තරු සොයා යන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (27) නිමාවට පත්වූ තරගයක දී ඉනිමක ජයක් වාර්තා කර ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

ඒ කමිඳු මෙන්ඩිස්, තවීශ අභිෂේක් සහ සඳුන් මෙන්ඩිස් දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනි. මීට අමතරව හරීන් බුද්ධිල ප්‍රදර්ශනය කළ සුපිරි තුන් ඉරියව් දක්ෂතා නිසා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හැකි විය.

මලියදේව ක්‍රීඩක සුපුන් සුමනරත්න දක්ෂ පිතිකරණයක

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) නිමාව දුටුවේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මාතර සාන්ත සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

විශ්වසනීය පිතිකරණ රටාවත්, ප්‍රතිවාදීන් තැති ගන්වන සුළු පන්දුකරණයත් නිසා මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 115කින් ජය ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. ඒ දකුණුලක ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ තවත් පාසලක් වන මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය පරාජයට පත් කරමිනි.

ඊයේ උදෑසන ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී උරගා බැලුණු කාසියේ වාසිය සාන්ත සර්වේසස් කණ්ඩායමට හිමිවීමත් සමඟ ඔවුන් තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීම වඩාත් උචිත වන බවයි. කෙසේ වෙතත් වැඩි වේලාවක් ගත වන්නට පෙරම එම තීරණයේ සදොස් භාවය රිච්මන්ඩ් පන්දු යවන්නන් සනාථ කළහ.

ඒ ප්‍රතිවාදී සර්වේසස් පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 87ක් තුල ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එහි දී සුපිරි පන්දු යැවීමක යෙදුණු දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සඳුන් මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත්තේය. ඉන් අනතුරුව පිතිකරණ අවස්ථාව ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය ඉතාමත් විශිෂ්ට අයුරින් ඉනිම ගොඩ නංවමින් කඩුලු 4කට ලකුණු 307ක් රැස්කර ගත්හ. එහි දී රිච්මන්ඩ් ඉනිමේ නැංගුරම බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 133ක් රැස්කර ගත්තේය. ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ තවීශ අභිෂේක් තම ශතකය වාර්තා කිරීමත් සමඟම තම ඉනිම අත්හිටුවීමට රිච්මන්ඩ් විද්‍යාලය තීරණය කළේය.

ඒ අනුව ප්‍රථම ඉනිමේ ලකුණු 220ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සර්වේසස් විද්‍යාලයට තරගය බේරා ගැනීමට කිසිදු ඉඩකඩක් රිච්මන්ඩ් පන්දු යවන්නන්ගෙන් හිමි වූයේ නැත. ප්‍රථම ඉනිමට වඩා තරම් පරීක්ෂාකාරී ලෙස පන්දුවට පහර දුන්න ද ඔවුන් දෙවැනි ඉනිම වෙනුවෙන් ද රැස්කර ගත්තේ ලකුණු 105ක් පමණි. දෙවැනි ඉනිමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 25ට කඩුලු 4ක් බිඳ හෙලමින් වැඩි දක්ෂතා දැක්වූ අතර සඳුන් මෙන්ඩිස් නැවතත් කඩුලු ද්විත්වයක් දවා ගත්තේය.

සාන්ත සර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 87 (පන්දුවාර 47.3): රිශිර ලක්වින් 23, සඳුන් මෙන්ඩිස් 5/32, අම්ශි ද සිල්වා 2/15, ධනංජය ලක්ෂාන් 2/17.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 307 (පන්දුවාර 67): කමිඳු මෙන්ඩිස් 133, තවීශ අභිෂේක් 100*, ආදිත්‍ය සිරිවර්ධන 32, අවිඳු තීක්ෂණ 25*, සුපුන් කාවින්ද 2/35.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 42.3): චේතක දෙනුවන් 21, ධනංජය ලක්ෂාන් 4/25, සඳුන් මෙන්ඩිස් 2/12.


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

අද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගත්තේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි. තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද ක්‍රියාත්මක වූයේ දෙවැනි සහ අවසන් දිනයටයි. කාසියේ වාසිය දිනාගත් සාන්ත අන්තෝනි විද්‍යාලය ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ඇලෝසියස් විද්‍යාලයට පිරිනැමූ අතර ඔවුන් ලකුණු 217ක් වාර්තා කිරීමට සමත් විය. එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ද ක්‍රීඩා කරන දකුණත් පිතිකරු හරීන් බුද්ධිල ලකුණු 46ක් වාර්තා කර ගත්තේය. පන්දු යැවීමේ දී කේ. එම්. හෙට්ටිආරච්චි කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 55ක් තුල දී දවා ගනිමින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ඇලෝසියස් විද්‍යාලයට හැකි විය. එහි දී ද මූලිකත්වය ගත්තේ වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිලයි. ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් ඩැහැ ගැනීමට සමත් විය. ඒ අනුව නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට සිදුවුනු සාන්ත අන්තෝනි පිතිකරුවන් දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 5කට ලකුණු 68ක් රැස්කර ගනිමින් පූර්ණ තරග පරාජයෙන් ගැලවීමට සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 60.3): හරීන් බුද්ධිල 46, පසිඳු නානායක්කාර 32, ගිම්හාන ආශිර්වාද 32, කේ. එම්. හෙට්ටිආරච්චි 3/09.

සාන්ත අන්තෝනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 55 (පන්දුවාර 36.5): හරීන් බුද්ධිල 6/18.

සාන්ත අන්තෝනි විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 68 (පන්දුවාර 35.4): වයි. ආර්. ඊ. ජයවීර 29, අශේන් බණ්ඩාර 2/09, රවිඳු සංජන 2/26.


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි. ඒ අනුව ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලබාගත් ඔවුන් මේ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස් කරගෙන සිටියි. මේ දක්වා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ශිහාන් සුභාශිත ලකුණු 71යි. පන්දු යැවීමේ දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ගීමන්ත සේනානායක ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී තරගය හෙට දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 161 (පන්දුවාර 56.2): ශිහාන් සුභාශිත 71, සංචිත ගිම්හාන් 31, ගීමන්ත සේනානායක 4/26.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට