ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට නම් 5ක් යෝජනා වෙයි

2996

අසන්ත ද මෙල් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟම හිස්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර සහ නව තේරීම් කමිටුව වෙනුවෙන් 1996 ලෝක කුසලාන ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් වුනු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලුවිතාරණ ඇතුළු 5 දෙනෙක්ගේ නම් යෝජනා වී බව වාර්තා වෙනවා.

යෝජනා වී තිබෙන මේ සාමාජිකයින් අතර හේමන්ත වික්‍රමරත්න, කපිල විජේගුණවර්ධන සහ වරුණ වරාගොඩ යන මහත්වරුන්ගේ ද නම් යෝජනා වී තිබෙනවා. මේ අතර සිටින තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ (National Sports Council) අනුමැතිය ඇතිවයි.

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතරින් එහි සභාපති තනතුර සඳහා යෝජනා වී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ නම වන අතර ජාතික ක්‍රීඩා සභාව විසින් යෝජනා කරන ලද සාමාජිකයින්ගේ නම් තුනට අමතරව, තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් තෝරාගැනීමේ තිබෙන රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කිරීම වෙනුවෙන් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්) තවත් සාමාජිකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා කර තිබෙනවා.

ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කලුවිතාරණ යන මහත්වරුන් දෙදෙනාට අමතරව සිටින අනෙක් සාමාජිකයින් වන හේමන්ත වික්‍රමරත්න සහ කපිල විජේගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර අත්දැකීම් තිබෙනවා. එසේම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී සිසුවෙක් වන වරුණ වරාගොඩ මහතා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටිය තුල තරග 100කට වඩා ක්‍රීඩා කොට අත්දැකීම් ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කළ ලබා ගත් අත්දැකීමට අමතරවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා යෝජනා වී තිබෙන මේ නම් පහ ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය ඇතිව ඉදිරි දින කිහිපය තුල ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට නියමිත බව ද දැනගන්නට ලැබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<