ඉන්දීය පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වෙහෙසකර පුහුණු සැසියක්

415
AFP PHOTO

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය පුරා දුවවමින් ඔවුන්ට වෙහෙස කර පුහුණු සැසියක් සංවිධානය කළා වූ ඉන්දීය පිතිකරුවෝ නාග්පූර් පිටිය වර්ණවත් කරමින් දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (25) නිමා කළේ කඩුලු 2ක් දැවී ලකුණු 312ක් ව තිබිය දීයි.

දිමුත් සහ චන්දිමාල් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ජාමෙ බේරා ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය…

සංචාරක කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 205ට එරෙහිව කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටිමින් දෙවැනි දිනයට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු අපහසුවකින් තොරව පළමු ඉනිමේ ගෞරවය දිනා ගැනීමට සමත් වූහ. ඔවුන් මේ වන විට කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටී.

පන්දුවාර 90ක පන්දු 540කට අද දවසේ මුහුණ දුන් ඉන්දීය ක්‍රීඩකයෝ දිනයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 301කි. එම ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 126ක්ම හතරේ සහ හයේ පහර මගින් රැස් කර ගැනීමට ඔවුන් සමත් වූහ. හතරේ පහර 30ක් ලෙසත් හයේ පහරක් ලෙසත් එම සීමා ලකුණු වෙන්වේ. ඉතිරි ලකුණු 275 පුරාම අද දවසේ පිතිකරණයේ යෙදුණ ඉන්දීය පිතිකරුවන් තිදෙනා විසින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් පිටිය සිසාරා දුව යෑමට සැලැස් වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ද සිදු වූයේ ප්‍රහාරයන් වළක්වාලන ඉලක්කයන් සොයමින් පන්දු යැවීමටය. එහෙත් ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දිනයේ හිස එසවීමට ඉඩ ලබා දුන්නේ එක් පන්දුවක දී පමණි. ඒ මුරලි විජේගේ දැවී යෑමේ දීය.

ඉන්දීය ඉනිමේ අද දවසේ වීරයන් වූයේ දෙවැනි කඩුල්ලට එක් වූ මුරලි විජේ සහ චෙටෙස්වර් පුජාරා ය. ඔවුන් දෙදෙනාම අද තමන්ගේ නම් ඉදිරියෙන් ශතක වාර්තා සටහන් කර ගත්හ.

මුරලි විජේ අද රැස්කළේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකයයි. ඔහුගේ ශතක පෙරහැරම පළමු ඉනිම්වල දී වාර්තා වීම සුවිශේෂීය. මාස 8ක විවේකයකට පසුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග පිටියට පිවිසි මුරලි තම ශතකය වාර්තා කළේ පන්දු 187ක දීය. ඒ වන විට ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි. ඔහුගේ මෙම ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ මංගල ශතකය ද වන්නේය.

ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 38ක් ව තිබිය දී මුරලි විජේ විසින් ලබා දුන් උඩ පන්දුවක් නිසි සේ ග්‍රහණය කර ගැනීමට  අසමත් වීමත් එම පන්දුවේ දී ම දුවද්දී දැවී යෑමකට තිබූ අවස්ථාවක් මග හැර ගැනීමත් මුරලිගේ වාසියට විණි. ඒ වන විට ඔහු රැස්කරගෙන සිටියේ ලකුණු 19ක් පමණි. රංගන හේරත් විසින් යැවුණ පන්දුවකට සධීර සමරවික්‍රම සාධාරණත්වය ඉෂ්ට නොකළ අතර අනෙක් අවස්ථාව නිරෝෂණ දික්වැල් අතින් ගිලිහුණි.

එහි වාඩුව වූයේ දෙවැනි කඩුල්ලට ලකුණු 209ක සබඳතාවක් එක් වීමයි. ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවන් පැවැත්වීමේ ගෞරවය දිනා සිටින මුරලි සහ පුජාරා ලද වාසියෙන් වඩාත් සවිමත් වෙමින් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට වැඩි වැඩ කොටසක් පවරමින් තමන්ගේ පිති ප්‍රහාරයන් දියත් කළහ.

ඉන්දීය ලකුණු පුවරුව 216ක් ව තිබිය දී රංගන හේරත්ගේ පන්දුවකට දිල්රුවන් පෙරේරා අතට ඉතා පහසු උඩ පන්දුවක් ලබා දෙමින් මුරලි තම ඉනිම අවසන් කළේ පෞද්ගලික ලබා ගත් ලකුණු 128 නතරව සිටිය දී ය. ඔහුගේ ඉනිම පන්දු 221ක් පුරා පැතිර ගිය අතර හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කර තිබුණි.

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කිරුළට සියල්ල සූදානමින්

එළඹෙන දෙසැම්බර් මස පළමු වැනි දින ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ 2017/18 වසර සඳහා…

දෙවැනි කඩුල්ලේ අනෙක් විසේකාරයා වූ චෙටෙස්වර් පුජාරා තම ටෙස්ට් තරග දිවියේ 14 වැනි ශතකය පන්දු 246ක දී රැස් කළේ තම ඉනිමට අලංකාර හතරේ පහර 11ක් ද එක් කරමිනි. දිනය අවසාන වෙද්දීත් ඔහුගේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුවට නොදැවුණ ලකුණු 121ක් එක් කර තිබුණි. ඔහුගේ ඉනිම පන්දු 284කින් සමන්විත වූ අතර හතරේ පහර 13ක් ඊට එක්කර තිබුණි.

තෙවැනි කඩුල්ලට පුජාරාට එක් වූ නායක විරාත් කෝලි තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි අර්ධ ශතකය රැස් කළේ කිසිදු මහන්සියකින් තොරවය. දිනය අවසාන වන විට පන්දු 70කට මුහුණ දී සිටි ඔහු හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස්කරගෙන සිටියේය.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ නොදැවුණ සබඳතාව ලකුණු 96කි. ඊට කඩුල්ල අතර දුවමින් ලබා ගත් ලකුණු 4ක් ද ඇතුලත් වීම සුවිශේෂී ය.

දිනයේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරයා වූයේ රංගන හේරත් ය. දෙවැනි දිනය අවසාන වන විට ඔහුගේ පන්දු යැවීම කියැවුණේ ලකුණු 45කට කඩුල්ලක් ලෙසිනි. ඉන්දීය ප්‍රති ප්‍රහාරයට එරෙහිව ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 5 දෙනෙක් උපයෝගී කර ගත්ත ද අනෙක් කිසිවෙක්ටත් ප්‍රතිඵල ලබා ගත හැකි වූයේ නැත.

මේ වන විට ටෙස්ට් කඩුලු ශතකය අභියස සිටින දකුණතින් දඟ පන්දු යවන දිල්රුවන් පෙරේරා දවසේ වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ පන්දු යවන්නා විය. ඔහු යැවූ පන්දුවාර 21.0ක දී ඉන්දීය පිතකරුවෝ ලකුණු 117ක් ලබා ගත්තේ එක් නොයිඳුල් පන්දු වාරයක් හෝ යැවීමට ඉඩ නොතබමිනි. හෙට (26) තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂණ දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 312 (98.0): පළමු දිනය නතර කරන විට පන්දුවාර 8.0ක දී කඩුල්ලක් දැවී 11) මුරලි විජේ 128, චෙචෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<