බංග්ලාදේශය ගොඩ ගන්න හතුරුසිංහගෙන් “මනෝවිද්‍යාත්මක” සැලැස්මක්!

Bangladesh vs Ireland 2023

2496
Bangladesh vs Ireland 2023

බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම තුලට “මනෝවිද්‍යාත්මක ආරක්ෂාවක්” ලබා දීමට තමන් උත්සාහ කරන බව නැවත බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ වැඩ භාර ගත් චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කරනවා.

එංගලන්තය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය වීමෙන් පසුව පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් එංගලන්තයට එරෙහිව ලද පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය විසින් මෙම මාසයේ මැද භාගයේ දී සමත් වුනා.

එමෙන්ම මේ දිනවල අයර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ බංග්ලාදේශය හෙටින් (27) ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය මෙන්ම, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයේ දී ද අයර්ලන්ත කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසු වේ යැයි බව අනුමාන කළ හැකියි.

බංග්ලාදේශය මෑතක දී ලබා ගත් මෙම සියලු ජයග්‍රහණ පිටුපසින් දැවැන්ත සෙවණැල්ලක් සේ සිටින්නේ හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මෙන්ම,  මීට වසර හයකට පෙරත් බංග්ලාදේශය කණ්ඩායමේ ද පුහුණුකාරීත්වය දැරූ චන්දික හතුරුසිංහ මහතායි.

මීට පෙර හැර යාමෙන් වසර හයකට පසු නැවත බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක් වන විටත් කණ්ඩායම තුල විශාල වෙනස්කම් සිදු වී නොමැති බව හතුරුසිංහ විසින් පවසනවා.

“කිසිම දෙයක් වෙනස් වෙලා කියලා මම හිතන්නේ නැහැ. පෙර තිබුණු දක්ෂතා සමඟ මේ ඉන්නේ පෙර හිටපු ක්‍රීඩකයින්මයි. ක්‍රීඩාගාරයේ වාතාවරණය සහ අපි කතාබහ කරපු දේවල් නම් තරමක් වෙනස් වෙලා.

සාර්ථක වුනත්, අසාර්ථක වුනත් ඔවුන් සතුව ඇති දක්ෂතා නිසා ඔවුන්ව අපිට වටින බව පවසමින් ඔවුන් වටා මනෝවිද්‍යාත්මක ආරක්ෂණයක් ඇති කරන්නයි මම උත්සාහ කරන්නෙ.

මෙතන වැදගත් ම දේ ‘මනෝවිද්‍යාත්මක ආරක්ෂාව’ කියන වචනය. ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක ගැන කරදර නොවී ක්‍රීඩකයින් ට තමන්ගේ උපරිම ලබා දෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ තමයි කණ්ඩායම් කළමනාකාරිත්වය පැත්තෙන් කරන්න පුළුවන් උපරිම වෙනස.”

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් හතුරුසිංහ විසින් පවසා සිටියේ තමන්ට සිය කණ්ඩායමෙන් ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩාවක් දැකීමට අවශ්‍ය බවයි.

“මම මේක අලුත් යුගයක් කියලා දකින්නේ නැහැ. මෙහෙම තමයි අපිට අපේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වුනේ. අපිට අවශ්‍ය ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වෙන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ අපි ඔහේ ඇස් වහගෙන දෙපැත්තට පැද්දෙනවා කියලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආක්‍රමණශීලී වෙන්නයි අවශ්‍ය. අපි කණ්ඩායම තෝරන්නේ, පන්දු රකින්නන් ස්ථාන ගත කරන්නේ, උපක්‍රම හදන්නේ, ශරීර භාෂාව තියාගන්නේ මේ හැම දේම කරන්නේ ආක්‍රමණශීලීව. අපිට හැකි උපරිම හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ. මම හිතන්නේ අපි නිදහසේ ක්‍රීඩා කරද්දී අපි හොඳින් ක්‍රීඩා කරනවා කියලා.”

එමෙන්ම ලබන මෙම මස 31 වැනිදා සිට ආරම්භ වීමට නියමිත IPL තරගාවලියට සහභාගී වීම සඳහා Linton Das, Mustfizur Rahman සහ Shakib Al Hassan යන ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමෙන් වෙන් වීමට ඉල්ලීම් කර තිබුනත්, ඔවුන්ට ඒ සඳහා ඉඩ ලැබුණේ නැහැ. එහි දී බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊට පෙරාතුවම සිය ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ වගකීම් නිමා කිරීමෙන් පසුව IPL තරගාවලිය සමඟ එක්වනු ඇති බව BCCI වෙත දන්වා තිබුණා.

“මම හිතන්නේ සිය රටට ප්‍රමුඛත්වය ලබා දීම තමයි පාලක මණ්ඩලයේ තීරණය වුනේ. ඒ වගේම වෙන්දේසියට නම් ඉදිරිපත් කරන්න පෙර සිටම ඔවුන් එය ක්‍රීඩකයින්ට දැනුම් දීලා තිබුණා.

අනිවාර්යයෙන් ම IPL ක්‍රීඩා කිරීම මගින් ඔවුන්ට තමන්ගේ දක්ෂතා දියුණු කර ගන්න පුළුවන්. නමුත් ඔවුන් අංක එකට ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමටයි.”

එමෙන්ම හෙටින් (27) ආරම්භ වීමට නියමිත අයර්ලන්තය සමඟ විස්සයි විස්ස තරගාවලිය තම කණ්ඩායම විසින් සැහැල්ලුවට නොගන්නා බවත්, සෑම කණ්ඩායමක් ම තමන්ට අභියෝගයක් බව හතුරුසිංහ විසින් අවධාරණය කළා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<