අවිශ්ක ප්‍රනාන්දු ගඟට ඉනි කපයි, දකුණු අප්‍රිකානු යෞවනයින්ට ජය

2692
Sri Lanka U19 v South Africa U19 January 21st ODI report

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සයවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකානුවන් අද (21) බෝලන්ඩ් පාර්ක් හිදී තරග වැදිනි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වූ මෙම තරගය අවසානයේදී දකුණු අප්‍රිකානු යොවුන් පිළ ලකුණු 39කින් ජයගත්හ.

දකුණු අප්‍රිකාවේදී ජය සොයන මෙහෙයුම තවදුරටත් අසාර්ථකයි

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගන්නට නව මුහුණුවරකින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සමත් විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු යොවුන් නායක මිචෙල් වෑන් බුරන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේ වැඩි ලකුණු සංඛ්‍යාවකට යාමේ බලාපොරොත්තු ඇතිවයි. තම නායකයාගේ තීරණය නිවැරදි බව පෙන්වූ කණ්ඩායම් සගයෝ පිට පිටම තරග දෙකකදී සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව මුහුණ දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 260ක් රැස් කිරීමට සමත් වූහ.

ඒ අතරතුරදී දකුණු අප්‍රිකානු පිළේ කඩුලු 8ක් බිඳ වැටුනත් ඉනිමක් ගොඩ නැගීමේදී අත්‍යවශයෙන්ම තිබිය යුතු ලකුණු සබඳතා කිහිපයක්ම ඔවුන්ගේ ඉනිම පුරාවට දක්නට ලැබුණි. දකුණු අප්‍රිකාවේ නැංගුරම බවට පත්වූ 18 හැවිරිදි දකුණත් පිතිකරු මොහොමඩ් මයෙත් හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 102ක් රැස් කළේය. මෙම තරගාවලිය පුරාවට පන්දුවෙන් තම යුතුකම් කොටස ඉටු කරමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික මෙම තරගයේදී ද ක්‍රියාත්මක වෙමින් ලකුණු 31ට කඩුලු 3ක් බිඳ හෙලීය.

තරමක් අසීරු ඉලක්කයක් සැබෑවක් බවට පත්කර ගැනීම වෙනුවෙන් සටනක නිරත වුනු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට සමත් විය. එමෙන්ම විස්සයි විස්ස තරග රටාවකට උචිත අන්දමින් වැරෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් පන්දුවාර 21ක් පමණ වනවිට කඩුලු 2කට ලකුණු 157ක් ලබාගෙන ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි අඩිතාලමක් දමා තිබුණි. නමුත් විශිෂ්ට ඉනිමක නියැලෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 62ක් තුලදී ලකුණු 96ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිළේ නාය යාම ආරම්භ විය.

ඒ වනවිට පන්දුවාරයකට ඉතාමත් අඩු ලකුණු වේගයක් අවශ්‍යව තිබියදී හසිත බෝයගොඩ, ශම්මු අශාන් සහ පැතුම් නිස්සංක වැනි දක්ෂ පිතිකරුවන්ගෙන් සැදුම් ලද ශ්‍රී ලංකා මැදපෙළට මෙම ඉලක්කයට ලඟා වීමට නොහැකි වීම සැබවින්ම අභාග්‍යසම්පන්න සිදුවීමක් බවට පත්විය. අවසානයේ පන්දුවාර 41යි පන්දු 5ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 221ක් ලෙස සටහන් විය.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ වෙනුවෙන් ශතකයක් රැස්කල මොහොමඩ් මයෙත් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඒ අනුව තරග 6ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 14කට උරුමකම් කියන දකුණු අප්‍රිකාව ප්‍රථම ස්ථානයේද, ලකුණු 10ක් ලබාගත් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ ද, ලකුණු 4කට හිමිකම් කියන සිම්බාබ්වේ කණ්ඩායම අවසන් ස්ථානයේ ද පසුවේ. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමට එරෙහිව ලබන අඟහරුවාදා (24) ආරම්භ වේ.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 260 (පන්දුවාර 50): මොහොමඩ් මයෙත් 102, මිචෙල් වෑන් බුරන් 35, ජෙසී ක්‍රිස්ටන්සන් 30, නිපුන් රංසික 3/31, ප්‍රවීන් ජයවික්‍රම 2/28.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 41.5): අවිශ්ක ප්‍රනාන්දු 96, කමිඳු මෙන්ඩිස් 42, අකෝනා මනියෝකා 3/43, රුවාන් ඩි ස්වාඩ් 3/45, මිචෙල් වෑන් බුරන් 2/11.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට