එක දිනුමකින් හැමදේම මනින්න බැහැ – හතුරුසිංහ

Bangladesh vs Afghanistan 2023

7654

ඇෆ්ගනිස්තානයට එරෙහිව වාර්තාගත ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලැබුව ද, එළඹෙන එක්දින තරගාවලියේ දී ඊට වඩා අභියෝගයක් තමන්ට ඇෆ්ගනිස්තානයෙන් එල්ල වනු ඇති බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් සඳහන් කරනවා.

බංග්ලාදේශය විසින් පසුගිය මාසයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 546ක අති දැවැන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. එම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව නැවතත් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා මේ දිනවල ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයේ සංචාරයක නිරත වී සිටිනවා. එම තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතයි.

නමුත් ටෙස්ට් තරගයේ දී මෙන් නොව එක්දින තරග රටාවේ දී ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකිය හැකි ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියේ දී වඩාත් තර්ජනාත්මක වනු ඇති බවයි හතුරුසිංහ විසින් අනුමාන කරන්නේ.

“ඔව් අපි කැමතියි එක්දින තරගත් ටෙස්ට් තරගය ජයග්‍රහණය කළා වගේ ම ජයග්‍රහණය කරන්න. නමුත් මේක වෙනස් තරග රටාවක්, ඒ වගේ ම වෙනස් කණ්ඩායම් තමයි ක්‍රීඩා කරන්නේ.

මෑත කාලයේ ඔවුන් ඉතාම හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔවුන්ට ඉතාම හොඳ පන්දු යැවීමේ අංශයක් ඉන්නවා. ඒ වගේ ම පසුගිය වසර කිහිපය තුළ ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් හතර දෙනා හොඳින් ස්ථාවර වුනා. ඔවුන් එක්දින තරග ආකෘතිය තුළ ඉතා ප්‍රබල කණ්ඩායමක්.”

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවට පැමිණි හතුරුසිංහ විසින් සිය ප්‍රතිවාදී කණ්ඩායම පිළිබඳ එවැනි තක්සේරුවක් ලබා දුන්නා. එමෙන්ම මෙහි දී ඔහු විසින් අවධාරණය කළේ මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ඉතා හොඳ පෙරහුරුවක් වනු ඇති බවයි.

“මම හිතන්නේ නැහැ අපි මේ වෙනකම් ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කළා කියලා. ඒ නිසා අපිට මේ තරගාවලිය, ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට පෙර තවත් පුහුණුකරු තරග කිහිපයක් තියෙනවා. ඒ නිසා ගොඩක් ක්‍රිකට් තරග ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. මෙය ඇත්තෙන්ම ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වෙනුවෙන් කදිම සූදානමක්.”

එමෙන්ම මේ වන විට ඔවුන්ගේ නිත්‍ය එක්දින නායක Tamim Iqbal ආබාධයකට ලක් වී සිටින අතර ඔහු දැන් එම ආබාධයෙන් සුවය ලබමින් සිටින බවයි හතුරුසිංහ මහතා විසින් සඳහන් කර තිබුණේ.

මේ අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසෙන ඕනෑම ක්‍රීඩකයකුට බංග්ලාදේශ සංචිතයේ දොර විවර වනු ඇති බව ද හතුරුසිංහ විසින් විශේෂයෙන්ම සඳහන් කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<