Home Sinhala Investec Super Rugby නැරඹීමට ප්‍රේක්‍ෂකයින්ටත් අවස්ථාව

Investec Super Rugby නැරඹීමට ප්‍රේක්‍ෂකයින්ටත් අවස්ථාව

199
Crowds Free to Attend Super Rugby Aotearoa

මෙම සති අන්තයේ දී ආරම්භ වීමට නියමිත Investec Super Rugby Aotearoa තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් හට ක්‍රීඩාංගණ තුළට පිවිසීමට අවසර හිමිව තිබේ. 

Blues කණ්ඩායමට එක්වන සුපිරි ක්‍රීඩකයා කවුද?

අද (08) දින මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්තය සිය රට තුළ පනවා තිබූ සීමා කිරීම් නව කොරෝනා වෛරස අනතුරු හැඟවීමේ පළමු මට්ටම දක්වා පහත දමන බව එරට ගරු අග්‍රාමාත්‍ය Jacinda Ardern ප්‍රකාශ කිරීමත් සමඟ මේ බව තහවුරු විය. 

නව කොරෝනා වසංගත තත්වය ලොව පුරා පැතිර යාමත් සමඟ ක්‍රීඩා ඉසව් වලට ඒ හරහා දැඩි බාධා එල්ල වූ අතර පසුගිය සති කිහිපය පුරාවට නැවත ආරම්භ වූ තරගාවලි ද ආරම්භ කරනු ලැබුවේ ක්‍රීඩාංගණ තුළට ප්‍රේක්‍ෂකයින් ඇතුළ‍ත් කරගැනීම තහනම් කරමිනි. මෙවර Investec Super Rugby තරගාවලිය ආරම්භ කරමින් මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිත Dunedin හිදී පැවැත්වෙන Highlanders සහ Chiefs අතර තරගය මෙන්ම Auckland හිදී පැවැත්වෙන Blues සහ Hurricanes අතර තරගයත් නැරඹීම සඳහා ඇතුළ‍ත් කරගනු ලබන ප්‍රේක්‍ෂක සංඛ්‍යාවට අදාළව කිසිඳු සීමා කිරීමක් නොමැති අතර වසංගත තත්වයේ පැතිර යාමෙන් අනතුරුව මෙවන් දෙයක් සිදුවන පළමු අවස්ථාව ලෙස ද මෙය හඳුනාගත හැක. 

මේ වන විට දින 17ක් පුරාවට නවසීලන්තය තුළ කිසිඳු කොරෝනා වෛරසය ආසාධිත රෝගියෙකු වාර්තා වී නොමැති අතර එහි සිටි අවසන් රෝගියා ද මේ වන විට ඉන් සුවය ලබා ඇත. 

“අපේ ඉලක්කය වුනේ පුළුවන් ඉක්මණින් සහ ආරක්‍ෂිතවම මෙම තත්වයෙන් නිදහස් වෙන්න. තවදුරටත් අපේ දේශසීමා විදේශිකයින්ට වසා තිබුනත් අනෙක් සියලුම ව්‍යාපාර හා සේවාවන් වලට පනවලා තිබ්බ සීමා කිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනවා.”  

“ඉතින් දවස් 75කට පස්සේ අද අපි ඒ සඳහා සූදානම්” අග්‍රාමාත්‍ය Ardern අද දින මාධ්‍ය අමතමින් පැවසීය. 

ඒ අනුව ජර්මනියේ Bundesliga පාපන්දු ලීග් තරගාවලිය, දකුණු කොරියාවේ බේස්බෝල් සංගම් ලීග් තරගාවලිය සහ UFC ඉසව් කිහිපයක් ද මේ වන විට නැවත ආරම්භ කර තිබුනත් ඒවා නැරඹීමට සහභාගී වීම සඳහා ප්‍රේක්‍ෂකයින් හට අවස්ථාවක් හිමි වූයේ නැත. 

New Zealand Rugby ප්‍රධාන විධායක නිලධාරී Mark Robinson මෙම පුවත පිළිබඳව සිය අදහස් පළකරමින් පවසා සිටියේ මෙය වෛරසය පැතිර යාමෙන් අනතුරුව එරට ක්‍රියාත්මක කෙරුනු දැඩි රට වසා දැමීම් නීති තත්වයන් හමුවේ එරට සමස්ත ජනතාවම සිදුකළ කැපකිරීම් සහ කැපවීම් වල ප්‍රතිඵලයක් වන බවයි. 

“අපි නවසීලන්තයේ සියලුම දෙනාට කියන්න කැමතියි පිරිස් එක්වීමට අදාළව තිබ්බ සීමාකිරීම් ඉවත් කිරීම, අපේ Investec Super Rugby Aotearoa තරගාවලියට ලැබුනු ලොකු දෙයක්.”  

“අපිට මේ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම ප්‍රේක්‍ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කරන්න ලැබෙන ලොව පළමු වෘත්තීමය තරගාවලිය අපේ මේ තරගාවලිය වීම ගැනත් අපිට ලොකු සතුටක් තියෙන්නේ. මේක ගොඩක් විශේෂ තරගාවලියක් වේවි. ඒකේ කොටස්කරුවන් වෙන්න නවසීලන්ත ජනතාවටත් අවස්ථාවක් ලැබීම ගොඩක් ලොකු දෙයක්.” 

පෙර පවත්වනු ලැබූ Super Rugby තරගාවලිය අනුව යමින් නිර්මාණය කරනු ලැබූ නව තරගාවලියක් වන මෙම Super Rugby Aotearoa තරගාවලිය සඳහා ද පෙර තරගාවලියට මෙන් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ආර්ජන්ටිනාව නියෝජනය කරමින් කණ්ඩායම් එක්වනු ඇත. ඒ අනුව මෙම සති අන්තයේ දී ආරම්භ වන තරගාවලිය තරග වට 10ක් පුරාවට පැවැත්වෙනු ඇත. 

එමෙන්ම Blues කණ්ඩායම විසින් පසුගිය සතියේ දී සුවිශේෂී නිවේදනයක් නිකුත් කරමින් රග්බි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි නවසීලන්ත සුපිරි ක්‍රීඩක Dan Carter කෙටි කාලීන ගිවිසුමක් යටතේ සිය කණ්ඩායම සමඟ එක්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තරගාවලිය වටා තිබූ උණුසුම තවත් ඉහළ යන්නට විය. කෙසේ නමුත් එළඹෙන ඉරිදා Blues සහ Hurricanes කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා ඔහු එක්නොවුනත්, Blues කණ්ඩායමේම නව සාමාජිකයෙකු වන “වසරේ ලෝක හොඳම රග්බි ක්‍රීඩකයා”ට හිමි සම්මානයෙන් දෙවරක් පිදුම් ලබා ඇති සුපිරි ක්‍රීඩක Beauden Barrett මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

Investec Super Rugby Aotearoa තරගාවලියේ නව වෙනස්කම් රැසක්

ඒ අනුව Carter සහ Barrett ක්‍රීඩා කරනු නැරඹීම සඳහා එරට ක්‍රීඩා ලෝලීන් Auckland නුවර Eden Park ක්‍රීඩාංගණයට දහස් ගණනින් පැමිණෙනු ඇති බව නොඅනුමානය. 

“මේක අපේ කණ්ඩායමට වගේම මුළු කලාපයටත් ගොඩක් ලොකු දෙයක්.” 

“පසුගිය මාස කිහිපයක කාලය අපි හැමෝටම ගොඩක් අමාරු කාලයක් වුනා. ඉතින් රග්බි ක්‍රීඩාව ක්‍රීඩා කරන්න ලැබීම, හොඳ ඉහළ විනෝදයක් ලබා ගන්න ලැබීම රග්බි ක්‍රීඩා ලෝලීන්ට වගේම ඔවුන්ගේ පවුල් වලටත් ගොඩක් වටින දෙයක් වේවි.” යයි Blues කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Andrew Hore පැවසීය. 

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<