නායකත්වයේ අසුන් චන්දිට සහ තරංගට

535

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (11) තම නායකත්වයට සමුදීමට තීරණය කළ අතර, එම හිස් වූ තනතුර සඳහා ටෙස්ට් කණ්ඩායම් නායකත්වය දිනේෂ් චන්දිමාල් හට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

තවද එක්දින හා විස්සයි විස්ස තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම උපුල් තරංගට හිමි වී ඇත. තරංග මීට පෙර පැවැත්වූ දකුණු අප්‍රිකානු තරගාවලිය හා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය. බංග්ලාදේශ තරගාවලියේ දී ද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙය වීමට තරංග සමත් විය.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් කණ්ඩායම තුල සිටිය ද දිගු කාලීනව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීම සඳහා වයස අවුරුදු 27ක් වන දිනේෂ් චන්දිමාල්ව තෝරා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරන ලදි.

චන්දිමාල් පෙර සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත නායකත්වයට තමන් සුදුසු බවට ඉඟි රාශියක් පළ කළ අතර, 2013 වර්ෂයේ දී ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට ද පත්විය. එසේම ඔහු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උපනායක ලෙස ද කටයුතු කරන ලදි. 2014 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ආබාධයකට ලක්වූ අතර, ඔහු දක්ෂතා අතර නොසිටි නිසාවෙන් එම තනතුර ඔහුට අහිමි විය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට