Rinku + Russell ප්‍රහාරයෙන් 8 සිටි KKR 5ට එයි

151

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders ඊයේ (8) සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Punjab Kings පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

තරග කිහිපයක් ක්‍රීඩාගාරය තුල රැඳී සිටීමට සිදු වුන භානුක රාජපක්ෂ හට මේ තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු නමුත්, එමඟින් ඔහුට නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුනේ ලකුණු ලබා ගැනීමටත් පෙර දැවී යාමට සිදු වුන නිසයි.

පන්දුවාර 5කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 53කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී නායක Shikhar Dhawan සමඟින් පිටියේ එක්වුණු Jitesh Sharma පන්දු 42ක් තුල ලකුණු 53ක සබඳතාවයක් ගොඩනංවමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

Dhawan හට හැරෙන්නට අනෙක් එකඳු හෝ Punjab පිතිකරුවෙක් හට ලකුණු 21 සීමාව ඉක්මවා යාමට Kolkata Knight Riders පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. 4 පහර 9ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 47ක් තුල ලකුණු 57ක් ලබා ගත් Dhawan පන්දුවාර 14කුත් පන්දු 14ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් සිය ප්‍රහාරය දැඩි කිරීමට උත්සහ කළ නමුත්, එය සාර්ථක වුනේ නැහැ. පන්දු යැවීමේ දී Varun Chakravarthy කඩුලු 3ක් දවා ගන්නා විට, Harshit Rana කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ලකුණු 180ක ඉලක්කයක් හඹා යමින් සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් පවත්වා ගැනීමේ අරමුණ අතැතිව පිටියට පිවිසි Kolkata වෙනුවෙන් Jason Roy සහ Rahmanullah Gurbaz පන්දු 28ක් තුල ලකුණු 38ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ඔවුන්ට ලබා දුන්නා. පන්දු 24ක් තුල 4 පහර 8ක් එල්ල කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුනු Jason Roy ලකුණු 38කට දවා ගැනීමට Harpreet Brar සමත් වීමත් සමඟම ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩාල කරගැනීමට Punjab ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක Nitish Rana සමඟ එක්වුණු Venkatesh Iyer පන්දු 38ක් තුල ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුවට අවශ්‍ය වුනු මූලික ස්ථාවරත්වය ගොඩනැංවූවා. Nitish Rana පන්දු 38ක් තුල 4 පහර 6ක් සහ 6 පහරක් එල්ල කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව ලකුණු 51කට දැවී ගියා.

පන්දු 29ක් තුල ලකුණු 58ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණු මොහොතේ දී Rana දැවී ගිය අතර අනතුරුව Andre Russell සහ Rinku Singh පන්දු 26ක් තුල ලකුණු 54ක සබඳතාවයක් එක් කරමින් KKR ජයග්‍රහණයේ මාවත විවර කළ නමුත්, 20 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී Russell දුවද්දී දැවී යාමත් සමඟම තරගය නැවතත් උණුසුම් වුනා. නමුත් Rinku අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

එම ජයත් සමඟ IPL ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිටි KKR කණ්ඩායමට ප්‍රසාද ලකුණු 10ක් සමඟ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්නට හැකියාව ලැබුණා.

  • Punjab Kings – 179/7 (20): Shikhar Dhawan 57, Shahrukh Khan 21, Jitesh Sharma 21, Varun Chakravarthy 3/26, Harshit Rana 2/33
  • Kolkata Knight Riders – 182/5 (20): Nitish Rana 51, Andre Russell 42, Jason Roy 38, Rinku Singh 21*, Rahul Chahar 2/23

තරගයේ වීරයා – Andre Russell (KKR)

IPL තරගාවලියේ සියලු ම තරඟ සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<