හර්ෂිතා සමරවික්‍රම සුපිරි තරු අතරට

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

189

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන 2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. තරගාවලියට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් 100% ක්‍රිකට් සුපිරි තරු 10 දෙනෙකු නම් කර තිබුණා.

පසුගිය වසරේ බර්මින්හැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඓතිහාසික අවස්ථාවක් උදා වූ අතර එහි දී 100% ක්‍රිකට් සුපිරි තරු ලෙස තෝරා ගත් පළමු ක්‍රීඩිකාවන් පස්දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

එහි දී Sophie Ecclestone (එංගලන්තය), Amelia Kerr (නවසීලන්තය), Hayley Matthews (දකුණු අප්‍රිකාව), Shafali Verma (ඉන්දියාව) සහ Laura Wolvaardt (දකුණු අප්‍රිකාව) 100% ක්‍රිකට් සුපිරි තරු සංචිතයේ පළමු අස්වැන්න ලෙස නම් කර තිබුණා.

ඉන් අනතුරුව Fatima Sana (පාකිස්තානය), Smriti Mandhana (ඉන්දියාව), Ashleigh Gardner (ඕස්ට්‍රේලියාව), Sophia Dunkley (එංගලන්ත) සහ Gaby Lewis (අයර්ලන්තය) එම ලැයිස්තුවට ඇතුළත් කළ දෙවැනි ක්‍රීඩිකාවන් වුනා.

ඉන් අනතුරුව Nigar Sultana (බංග්ලාදේශය), Nattakan Chantam (තායිලන්තය), Jemimah Rodrigues (ඉන්දියාව), Alana King (ඕස්ට්‍රේලියාව) සහ Lara Goodall (දකුණු අප්‍රිකාව) ද ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා. එහි දී ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩිකාවන් එකොළොස්දෙනා තීරණය කිරීමට ද අවස්ථාව ලබා දුන්නා.

මෙම කීර්තිමත් සංචිතයට එක්වන මීළඟ සුපිරි තරු 10 දෙනා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පසුගිය දා නම් කර තිබුණා. ඔවුන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දී විශාල බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා මාධවී සමරවික්‍රම ද ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

24 හැවිරිදි වන හර්ශිතා වමත් පිතිකාරිණියක් වන අතර ඇය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ නැංගුරම බවට පත්ව සිටිනවා. තරග තුල දී උපක්‍රමශීලී වූ ඇය කණ්ඩායමට සිය සේවය අවශ්‍ය වූ සෑම අවස්ථාවකම දායකත්වය ලබා දීමට සමත් වුනා.

දුෂ්කර තත්ව යටතේ ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන හර්ශිතා තාක්‍ෂණිකව ශක්තිමත් මෙන්ම අභියෝගාත්මක තත්වයන් වල දී ප්‍රබල දස්කම් දක්වන ක්‍රීඩිකාවකි.

හර්ශිතා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 18කට සහ විස්සයි විස්ස තරග 33කට ක්‍රීඩා කර ඇති අතර එම ආකෘති දෙකේ දී ම ස්ථාවර ලකුණු රැස්කරන්නෙකු වී තිබෙනවා.

ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 50 ඉක්මවූ ඉනිම් තුනක් සමඟින් විස්සයි විස්ස ලකුණු 508ක් සහ එක්දින ලකුණු 419ක් ලබාගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව හොඳින් දස්කම් දැක්වීමට නම් හර්ශිතා මාධවීට සාර්ථක වීමට සිදු වනු ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කර තිබෙනවා.

හර්ශිතාට අමතරව ඕස්ට්‍රේලියාවේ Tahlia McGrath, ඉන්දියාවේ Richa Ghosh, එංගලන්තයේ Charlie Dean, ඉන්දියාවේ Deepti Sharma, එංගලන්තයේ Alice Capsey ඕස්ට්‍රේලියාවේ Darcie Brown ද සෙසු ක්‍රීඩිකාවන් ලෙස නම් කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<