පළමු තරගයේදීම සිංගප්පූරුවට පරාජය වූ ලංකාව මලාවි තරගයේදීත් මැලවී යයි – 14 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය

58

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පසුගිය සිකුරාදා (8දා) ආරම්භ වූ 14 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු දින දෙක තුළ තමන් සහභාගි වූ තරග දෙකෙන්ම පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා පිල අද (10දා) මූලික වටයේදී සහභාගි වීමට ඉතිරිව ඇති තරගයේදී දකුණු අප්‍රිකාව සමඟ තරග වැදීමට නියමිතය.

මේ තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.30ට පමණ ඇල්පෝන්ස් ක්‍රීඩාගාරයේදී ආරම්භ වෙයි.

ලෝක ශේ‍ර්ණිගත කණ්ඩායම් සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව සමඟ තරගයද ශ්‍රී ලංකා පිලට අභියෝගයක් වීම නිසැකය. විශේෂයෙන්ම එම පිලට ඇතුළත් කළු ජාතික ක්‍රීඩිකාවන් වන ප්‍රම්සා මවේනි, බොන්ගිවේ මසෝමි හා ප්‍රිඩියස් තීම්බු වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩිකාවන් ලෙස හඳුන්වා දිය හැකිය.
දෙවැනි දිනය නිමාවට පත්කරමින් පැවැති අවසන් තරගයේදී ලෝක ශේ‍ර්ණි ගතකිරීම් හි පස්වැනි ස්ථානයේ පසුවන මලාවි පිල වෙතින් ලකුණු 101 – 18 පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට අද තරගයද එවැනිම අභියෝගයකි.

මලාවි ක්‍රීඩිකාවන් ලද මෙම ජයග්‍රහණයෙන් ලෝක කුසලාන දැල්පන්දු තරගයකදී ඔවුන්ගේ ඉහළම ලකුණු රැස්කිරීම වාර්තා කිරීමත් මෙවර තරගාවලියේ ලකුණු 100 ඉක්මවූ පළමු තරගය සටහන් කිරීමත් කැපී පෙනුණි.
මාලාවි ක්‍රීඩිකාවෝ පළමු වටයේදී ලකුණු 23ක් රැස්කරන විට ශ්‍රී ලංකාවට ලබා දී තිබුණේ ලකුණු 3ක් පමණි. අනතුරුව 29 – 3, 22 – 5ක් හා 27 – 7ක් ලෙස ඉතිරි වට තුනද ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

තරගය පුරාම මලාවි ක්‍රීඩිකාවන්ගේ ආක්‍රමණශීලී තරග රටාව පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා පිල අසමත් වූ අතර පන්දු විදින්නිය ලෙස ක්‍රීඩා කරන උසම ක්‍රීඩිකා තිසලා අල්ගමට එල්ල වී තිබූ පීඩනය නිසාම ලකුණු රැස්කිරීමට ඇයට ලැබුණු අවස්ථා කීපයක්ම මඟහැරී යනු දක්නට ලැබිණි. මේ නිසා ඇය විවේක ගන්වා විදින්නිය ලෙස හසිතා මෙන්ඩිස් සිවුවැනි වටයේදී යොදාගත් අතර එහි කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් එම වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 7ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිලට ඇතුළත් ක්‍රීඩිකාවන් 12 දෙනාම මේ තරගයට යොදා ගැනීමද විශේෂත්වයක් විය.

මේ අතර තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදීද සිංගප්පූරුව ලකුණු 56-43ක් ලෙස අපූරු ජයක් ලැබීය.
ජයගත හැකිව තිබූ එම තරගයේ පළමු වටය 12-12ක් ලෙස අවසන් වූ අතර දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 18-11ක් ලෙස පසු බැස්සේය. මේ අනුව ලකුණු 30-23ක් ලෙස සිංගප්පූරුව ඉදිරියෙන් සිටියදී තෙවැනි වටය ඇරඹුණු අතර එම වටයේ මුල් භාගයේදී තවත් ලකුණු 4ක් රැස් කොට ඉදිරියට යන්නට සිංගප්පූරුව සමත් විය.
නමුත් එම වටයේ මැද භාගය වන විට 34-34ක් ලෙස සම තත්ත්වයට පැමිණෙන්නට ශ්‍රී ලංකාවට හැකි වුවත් එහිදී ප්‍රතිවාදීන්ගෙන් පන්දුව පැහැරගත් අවස්ථා 10කින් සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නට සමත්ව තිබුණේ අවස්ථා 3කදී පමණක් නිසා තෙවැනි වටයේදී විශාල ලකුණු ප්‍රමාණයකින් ඉදිරියට යන්නට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් ගිලිහී ගොස් තිබිණි.

ඒ අනුව එම වටයේ ජය 11-9ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය. යළිත් අවසන් වටය 17-9ක් ලෙස ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.
ශ්‍රී ලංකා පිල සහභාගි වූ මෙම තරග දෙකේදීම දක්නට ලැබුණු ප්‍රධානම දුර්වලතාව වූයේ පිටිය පුරා විසිරී සිටිමින් දුර විදුම් ඔස්සේ පන්දුව හුවමාරු කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශ්වාසය නොතැබීමය. පිටිය මැද එක පොදියට රැඳී සිට පන්දුව හුවමාරු කර ගැනීමට යෑම නිසා ප්‍රතිවාදීන්ගේ සීමාව ආක්‍රමණය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් මඳ වශයෙන් සිදුවීම ඔවුනට වාසියක් අත්කර දීමක් විය.
තරග පැවැති පළමු දින දෙකේ ප්‍රතිඵල අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, මලාවි හා උගන්ඩාව අපරාජිත කණ්ඩායම් බවට පත්ව සිටිති.
තරගාවලියේ පළමු දිනයේ පැවැති ශ්‍රී ලංකා – සිංගප්පූරු තරගය ආරම්භ කිරීම සඳහා වාදනය කළ ශ්‍රී ලංකා ජාතික ගීයද බොහෝ දෙනකුගේ සවනට නුපුරුදු එකක් බවට පත්ව තිබිණි. එහි නාද රටා වෙනස් කොට තිබූ අතර ගායනා කරන ලද්දේද සිංහල බස හැසිරවීමට නුහුරු ගායකයකු විසිනි. එයට තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකිකයන්ගේ අප්‍රසාදය දැඩි ලෙස එල්ල විණි.