රෝද පුටුවෙන් පැරාලිම්පික් ටෙනිස් පිටියට වරම් ලද “සුරේෂ්”

ටෝකියෝ පැරාලිම්පික් උළෙල 2020

212
Suresh Dharmasena
 

32 හැවිරිදි ධර්මසේනගේ සුරේෂ් රංජන් ධර්මසේන 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ රෝද පුටු ටෙනිස් (Wheel Chair Tennis) ඉසව්ව වෙනුවෙන්. පැරා රෝද පුටු ටෙනිස් ඉසව්වේ ආසියානු මට්ටමේ පළමු පදක්කම්ලාභියා ද වන සුරේෂ් ධර්මසේන ගැන ThePapare.com තබන සටහනක් මේ. 

“ගොඩක් දුෂ්කර ගමනකින් පස්සේ මේ අවස්ථාව ලබා ගත්තේ. මුල ඉඳල ම පැරාලිම්පික් යන්න ඕන කියන අදහස තිබුණා. ලැබුණ මේ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි. පුහුණුව සහ කැපවීම නැතිව ක්‍රීඩාවකින් ඉදිරියට යන්න බැහැ. මම හිතනවා මට මේ අවස්ථාව ලැබෙන්නෙත් ඒ ලැබූ පුහුණුව සහ කැපකිරීම නිසා කියලා. මගේ මව්බිම පදක්කමකින් බබළවන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් හැකි සෑම උත්සාහයක් ම ගන්නවා”, සුරේෂ් ධර්මසේන ThePapare.com සමඟ කතාව ආරම්භ කළා. 

සුරේෂ්ගේ ගම කහටගස්දිගිලිය, පළුකෙටුවැව. තිදෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා. සුරේෂ්ට බාල මල්ලියෙක් සහ නංගියෙක් ඉන්නවා. ගොවිතැනින් දිවි සරි කර ගත් නිවසේ වැඩිමලා ලෙස සුරේෂ්ටත් ගෙදර දොරේ වැඩවල දී වැඩි වැඩ කොටසක් පැවරිලා තිබුණා. මේ නිසා සුරේෂ්ට ඒ දවස්වල කැත්තේ උදැල්ලේ වැඩත් හොඳට හුරුයි. 

සුරේෂ්ගේ පියා කේ. ධර්මසේන. මව එම්. ධර්මලතා. ඔවුන් දවසින් වැඩි කාලයක් ගත කළේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන එක. ඒත් ඉතිං ඒකෙන් මහ ලොකු දෙයක් ඔවුන්ට ලැබුණේ නැහැ. දවසින් දවස වැඩිමහල් වෙන දරුවන් තිදෙනෙක්ගේ බඩ-කට පුරවලා ඔවුන්ගේ පාසල් ගමනට අවශ්‍ය දේවල් සැපිරුවට පස්සේ කීයක් හරි ඉතිරි කිරීම, නියංසායෙ හිටවපු පැළයක් රැක බලා ගන්නවා වගේ අමාරු වැඩක් වුනා. 

“අම්මත් තාත්තත් කුඹුරු වැඩත්, හේන් වැඩත් මාරුවෙන් මාරුවට කළා. ඒත් ඉතිං අස්වැන්නෙන් ලැබෙන මුදලෙන් යම්තම් කාල බීල ඉන්න පුළුවන් වුනා විතරයි. අපේ අග-හිඟකම්වලට ඒ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. අපි තුන් දෙනෙක් පාසල් යන වයසේ. ගෙදර තිබුණ මේ තත්ත්වයත් එක්ක මට ඕන වුනේ ඉක්මනට රස්සාවක් කරන්න.”

සුරේෂ් පාසල් ගියේ කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලේ සුරේෂ් දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක්. වයස අවුරුදු 16න් පහළ සහ 19න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කරමින් සමස්ත ලංකා තරගවලට පවා සහභාගි වෙලා තියෙනවා. 

“මට අවුරුදු 18 වෙනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ යුද හමුදාවට බැඳෙන්න. ඒත් ඉතිං ගෙදරින් නම් කැමැත්තක් තිබුණේ ම නෑ. තියෙන විදිහට කාල බීල ඉඳිමු කියල තමයි අම්මත් තාත්තත් කිව්වේ. ඒත් ඉතිං මට ඕන වුනේ ඉක්මනට රස්සාවක් කරන්න. වොලිබෝල් පවා ගැහුවේ යුද හමුදාවට බැඳෙන්න ක්‍රීඩා සහතික ඕන නිසා.”

සුරේෂ් සාමාන්‍ය පෙළින් පාසල් ගමන නතර කරනවා. ඊට පස්සේ යුද හමුදාවට බැඳෙන්න අයදුම්පත් පුරවපු එක තමයි සුරේෂ්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ. ඒ අනුව සුරේෂ් අවශ්‍ය වයස සම්පූර්ණ වූ අලුත ම මින්නේරියේ යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ යුද පුහුණුවට එක් වෙනවා. ඒ 2007 අවුරුද්දේ. 

“පුහුණුවෙන් පස්සේ මම 11 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සමඟ මන්නාරම් යනවා. ඊට පස්සේ දිගින් දිගට ම මානුෂීය මෙහෙයුම් තිබුණ උතුරු-නැගෙනහිර පළාත්වල සේවය කරනවා. 2009 පෙබරවාරි 23 වැනිදා චලෙයි, පුදුඉරුප්පු කලපුව ළඟ දී බිම් බෝම්බයකට අහුවෙලා තුවාල වෙනවා. මට සිහිය එද්දී මගේ වම් පාදයේ දණ හිසට පහළින් අයින් කරලා තිබුණේ.”

ජීවිත දරිද්‍රතාවයෙන් ගොඩ එන්න යුද හමුදාවට එක් වූ සුරේෂ්ට කකුලක් අහිමි වීම දරා ගන්න බැරි වුනා. කබලෙන් ලිපට වැටුණා වගේ හැඟීමක් දැනුණේ. දුප්පත් දෙමාපියන්ට තවත් දුකක් දීම ගැන සුරේෂ් කම්පා වුනා. දෙමාපියන්ගේ කීම්-බස් නොතැකීම ගැන සුරේෂ් දහස්වර හිතන්න ඇති. ඒත් සිදු වූ දෙයක් නැවත සකසා ගත නොහැකියි. 

“ඒ වෙද්දී මට අවුරුදු 20යි. අම්මා තාත්තා අනතුරෙන් පස්සේ කිව්වේ කකුලක් නැති වුනාට කමක් නැහැ ජීවිතය තියෙනවා නේ කියලා. ඒ වචන, ඒ හැඟීම් ඔවුන් මහා ලොකු දුක් කන්දරාවක් හිතේ තියාගෙන වෙන කරන්න දෙයක් නැති තැන කියන්න ඇති. ඔවුන් එදා වගේ ම අදටත් මම ගැන බලනවා. ආදරෙන් බලා ගන්නවා. ඒ වගේ ම තමයි මගේ බිරිඳ. එයා මට හමුවෙන්නේ මට තුවාල වුනාට පස්සේ. ශාරීරික අඩු-පාඩුවලින් මිනිස්සු මනින ලෝකයක මට ඔවුන්ගේ ආදරය මහමෙරක් වගේ.”

සුරේෂ්ගේ බිරිඳ සමුද්‍රිකා චතුරංගනී දිසානායක. සුරේෂ් සමඟ පදිංචි වෙලා ඉන්නේ කහටගස්දිගිලියේ සිව්දිසාගම. ආබාධිත බවට පත් වූ පසුවයි සුරේෂ්ට සමුද්‍රිකා හමුවෙන්නේ. සුරේෂ් ටෙනිස් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න ඇයත් එක් හේතුවක්. 

කඩා වැටෙන හිත ශක්තිමත් කරන්න ඇය නිතර වෙහෙසුණා. ආබාධිත බව අමතක කරන්න වෙනත් දේක නිරත වෙන බැව් පැවසුවා. ඒත් ඒක සුරේෂ්ට එතරම් ම ලෙහෙසි වුනේ නැහැ. නමුත් සුරේෂ්ට මේ මතින් නැගී සිටින්න ලොකු උවමනාවක් තිබුණා. රාගම රණවිරු සෙවණේ දී තමන් වැනි ම වූ ආබාධිත සෙබළුන් රැසක් සමඟ කාලය ගෙවමින් සිටිද්දී ඔවුන් ජීවිතය ගොඩ ගන්න උත්සාහ කරන අයුරු දැකීමෙන් සහ ඔවුන් ඇසුරු කිරීමෙන් තමන්ට ද ජීවිතයක් ඇතැයි සුරේෂ් සිතා ගත්තා.  

“2010 අවුරුද්දේ මම පනාගොඩ යුද හමුදා මූලස්ථානෙට ආවා. එතැන මාස 2ක් විතර සිටිද්දී ජෙනරල් අබේසේකර සර් හමුවෙනවා. සර් තමයි කිව්වේ ටෙනිස් ගහමු කියලා. මම සර්ට හා කිව්වත් එතකොට මම ටෙනිස් ක්‍රීඩාව ගැන කිසි ම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් මට අවශ්‍ය වුනේ රෝද පුටුවට වෙලා ගත කරන ඒකාකාරී බවෙන් මිදිලා වෙනත් දේකට යොමු වෙන්න. ඒ නිසා මම ටෙනිස් ක්‍රීඩාවට කැමැත්තෙන් යොමු වුනා. මුලින් මුලින් ටිකක් අපහසු වුනා. නමුත් ටික කාලයක් යන කොට මට වැඩේ අල්ල ගන්න පුළුවන් වුනා.” 

ටෙනිස් පිටියට ආපු සුරේෂ් කොතරම් පුහුණුව ලැබුවත් අවුරුදු කිහිපයක් තිස්සේ සහභාගී වූ තරගවල දී පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු වුනා. ඒත් සුරේෂ් ‘ගේම් එක’ අත ඇරියේ නැහැ. මෙහෙම කාලයක් ගත කරපු සුරේෂ්ගේ දක්ෂතා මතු වෙන්නේ ඊටත් අවුරුදු ගාණකට පස්සේ. 

“මගේ මුල්ම ජයග්‍රහණය 2016 මීගමුවේ පැවති විවෘත තරගාවලිය. ඒ දක්වා මම බොහෝම ඉවසිල්ලෙන් පරාජයන් විඳ දරා ගනිමින් පැමිණියා. එදා මම හිතා ගත්තා දැන් නම් පරාජය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සහභාගී වූ සෑම තරගාවලියක දී ම මම පළමු තුන් දෙනා අතර හිටියා.”

සුරේෂ්ගේ ජයග්‍රහණ අතරට 2017 මැලේසියා පැරා විවෘත ටෙනිස් තරගාවලිය, 2018 තායිලන්ත ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන පැරා ටෙනිස් තරගාවලිය ද ඇතුළත් වුනා. එම වසරේ ම ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ටෙනිස් තරගාවලියේ දී සුරේෂ්, ලසන්ත රණවීර සමඟ එක්වෙමින් යුගල ශූරතාවය දිනා ගත්තා. එය මෙරට පැරා ටෙනිස් ඉතිහාසයේ දිනා ගත් පළමු ආසියානු පදක්කම වුනා. මේ දක්ෂතා සමඟින් ඔහු එම වසරේ ලෝක ශ්‍රේණිගත පැරා ටෙනිස් ක්‍රීඩකයන් අතුරින් 28 වැනි තැන දක්වා ඉදිරියට පැමිණීමටත් සමත් වුනා. 

ඉන් පසුව පෘතුගාලයේ දී පැවති පැරා ලෝක කුසලාන ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තෙවැනියා වීමටත් ඔහු සමත් වෙනවා. ඒ අතර මෙරට දී පැවති තරග අතරින් ශ්‍රී ලංකා විවෘත ශූරයා ලෙසත්, එස්. එස්. සී. විවෘත ශූරයා ලෙසත් ඔහු අවස්ථා ගණනාවක දී ඉදිරියට පැමිණියා. 

“කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ ටෙනිස් තරග තිබුණේ නැහැ. තිබුණ ගොඩක් තරගවලට අපිට සහභාගී වෙන්න බැරි වුනා. ඒ නිසා දැන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉන්නේ 58 වැනි තැන. කොහොම නමුත් මේ ස්ථාන එක මට්ටමක තියාගන්න අමාරුයි. ලොකු තරගකාරීත්වයක් තියෙනවා. නමුත් ඉදිරියේ දී සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට එන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට පැරාලිම්පික් උළෙල හොඳ අවස්ථාවක්.”

සුරේෂ්ගේ පුහුණුකරු ජගත් අමල් වැලිකල මහතා. නමුත් මේ දිනවල පැරාලිම්පික් හේතුවෙන් ඔහු මේ දිනවල පුහුණුව ලබන්නේ දයංග වීරසේකර මහතා යටතේ.

“මම අද ඉන්න තැන පිටුපස ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අතරින් අපිව භාරව ඉන්න ජෙනරල් අබේසේකර සර් විශේෂයි. ඒ වගේ ම මගේ පුහුණුකරුවන් සියලුම දෙනාමත් ආදරෙන් මතක් කරනවා. යුද හමුදාපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම දෙනාමත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සහ පැරා ක්‍රීඩා කමිටුවේ සියලු දෙනාමත් ඉතා ආදරෙන් මතක් කරනවා. ඔවුන්ට ස්තුති කරනවා”, සුරේෂ් ධර්මසේන පවසනවා.

පැරාලිම්පික් උළෙලේ සිංහ ධජය ළෙලවන්නට එරට යන සුරේෂ් ධර්මසේනට ThePapare.com හී සුබ පැතුම්.

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී  පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.Sri Lanka Paralympic team for tokyo

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<