Messiව හැබැහින් දකින්න තිබූ අවස්ථාවක් ඉන්දීය ප්‍රේක්ෂකයින්ට අහිමි වෙයි

535

වත්මන් පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ සුහද පාපන්දු තරගයක් ඉන්දියාවේ දී පැවැත්වීමට තිබූ අවස්ථාව ඉන්දීය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අධික මූල්‍ය පිරිවැය නිසයි.

ජුනි 12 සහ 20 යන දෙදින තුළ සුහද පාපන්දු තරග දෙකක් සඳහා ආජන්ටිනා කණ්ඩායමට අවස්ථාව තිබූ අතර ඔවුන් එම තරග දකුණු ආසියාවේ පැවැත්වීමට අවධානය යොමු කර තිබුණේ පාපන්දු ලෝක කුසලාන සමයේ ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාවෙනුයි.

“ආජන්ටිනා පාපන්දු කණ්ඩායම අපිට පුහුණු තරගයක් පවත්වන්න ආරාධනාවක් අරගෙන ආවා. ඒත් ඒක කරන්න පහසු දෙයක් නෙවේ, මොකද ඉහළ වියදමක් ඒකට යනවා.

එහෙම තරගයක් පවත්වනවා නම් අපිට ශක්තිමත් මූල්‍ය සහයකයෙක් අවශ්‍ය වෙනවා. මොකද ආජන්ටිනා තරගයක් පවත්වන්න අපිට විශාල මුදලක් යට කරන්න වෙනවා,” යැයි ඉන්දීය පාපන්දු නිලධාරි Shaji Prabhakaran ප්‍රකාශ කළා.

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව පාපන්දු පිටියේ වටිනාම කණ්ඩායම ආජන්ටිනා කණ්ඩායම වන අතර ඔවුන්ගේ තරගයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4-5ක අගයක් ගන්නවා.

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සුහද තරග ක්‍රීඩා කිරීම ආජන්ටිනාවේ පළමු සැලසුම වූවත් එම රටවල් ද්විත්යම අවශ්‍ය මූල්‍ය තත්වය සමඟ නොපැමිණීම නිසා ඕස්ට්‍රේලියාව සමඟ ජුනි 15 වැනිදා චීනයේ දී සහ ජුනි 19 වැනිදා ඉන්දුනීසියාවේ දී සිය තරග ක්‍රීඩා කළා.

ඉන්දියාව සහ ආජන්ටිනාව අතර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පවතින විශාල හිඩැස නිසා යම්හෙයකින් ඉන්දියාව මෙම තරගයට සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත් වූවා නම් ආජන්ටිනාවට තරග වැදීමට වෙනත් කණ්ඩායමක් සූදානම් කිරීමට සිදු වෙනවා.

ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ 101 වැනි ස්ථානයේ පසු වෙද්දී, ලෝක ශූර ආජන්ටිනාව ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ පළමු ස්ථානයේයි.

“ඉන්දියාව ආජන්ටිනාවට එරෙහිව ක්‍රීඩා කළා නම් එය විශාල නොගැළපීමක් වෙනවා. අපි ආජන්ටිනාව සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආජන්ටිනාව ද මේකට විශාල කැමැත්තක් දක්වනවා. එයාලගේ ක්‍රීඩා සමාජ පවා විශාල උනන්දුවක් දක්වනවා,” Prabhakaran ප්‍රකාශ කළා.

2011 වසරේ දී ආජන්ටිනා කණ්ඩායම ඉන්දියාවේ දී වෙනිසියුලා කණ්ඩායම සමඟ තරගයකට එක් වූ අතර එ් සඳහා 85,000කට ආසන්න ඉන්දීය ප්‍රේක්ෂකයින් පිරිසක් සහභාගී වුනා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් පාපන්දු පිටියේ උණුසුම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<