“ඔහු වරදක් කරලා නැහැ, ඔහුට පාඩුවේ ඉන්න දෙන්න”

384

අවසන් ටෙස්ට් ඉනිම් කිහිපයේ ඉන්දීය පිතිකරු KL Rahul හට සිදු ව ඇති පසුබෑම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ප්‍රකාශ කරන්නන්ට එරෙහිව හිටපු ඉන්දීය ක්‍රීඩක Harbhajan Singh ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැඩි ලෙස අසාර්ථක වූ KL Rahulගේ ස්ථානය සඳහා තෙවැනි ටෙස්ට් තරගයේ දී Shubman Gill ආදේශ කිරීමට බොහෝ ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තෙවැනි සහ සිව්වැනි ටෙස්ට් තරග සඳහා නම් කළ ඉන්දීය ටෙස්ට් සංචිතයට Rahul ඇතුළත් වන නමුත් ඔහු මෙතෙක් දැරූ ටෙස්ට් උපනායකත්වය ඔහුට අහිමි ව තිබෙන අතර අවසන් තරග දෙක සඳහා උපනායකයෙකු ඉන්දීය සංචිතයට ඇතුළත් කර නැහැ.

KL Rahul දිගින් දිගටම ලැබූ අසාර්ථකත්වය නිසා ඔහුව ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවත් කළ යුතු බවට හිටපු ඉන්දීය ක්‍රීඩක Venkatesh Prasad ප්‍රකාශ කර තිබුණා.

මෙලෙස Rahul හට චෝදනා එල්ල වෙද්දී හිටපු ක්‍රීඩක Harbhajan ඉන්දීය පිතිකරුවාට සහය දක්වමින් ප්‍රකාශයක් නිකුත් කිරීම කැපී පෙනෙනවා.

“ඔහුට (Rahul) ඔහුගේ පාඩුවේ ඉන්න දෙන්න පුළුවන් ද? ඔහු කිසිම අපරාධයක් (වරදක්) සිදු කරලා නැහැ. ඔහු තාමත් හොඳ ක්‍රීඩකයෙක්, ඔහු ශක්තිමත් ව නැවත පැමිණෙයි. අපි හැමෝම ජාත්‍යන්තර පිටියේ දී අමාරු කාලයන් පසු කරනවා. ඔහු පළවෙනි සහ අවසාන කෙනා නෙවෙයි. ඔහු අපේම ක්‍රීඩකයෙක් නිසා ඔහුට ගෞරවයක් දෙන්න වගේම ඔහු ගැන විශ්වාසය තියන්න,” යැයි Harbhajan ප්‍රකාශ කළා.

හිටපු ක්‍රීඩක Venkatesh Prasad විසින් Rahul කණ්ඩායමට තේරී පත් වීම ගැන අවස්ථා ගණනක දී ප්‍රශ්න කරන අතරවාරයේ Harbhajan විසින් මෙම twitter සටහන නිකුත් කළ අතර මෙම සිදුවීම ගැන හිටපු ක්‍රීඩක Aakash Chopra සහ Prasad අතරේ මතභේදාත්මක කතාබහක් ද සිදුව තිබුණා.

Aakash Chopra විසින් මෙම ගැටලුව පිළිබඳ ව සජීවී සංවාදයක් කිරීමට Venkatesh Prasadට ආරාධනා කර තිබුනත්, එම ආරාධනාව Venkatesh Prasad පිළිගෙන තිබුණේ නැහැ.

අවසන් වසර තුළ ටෙස්ට් තරග අටකට සහභාගී වූ Rahulගේ පිතිකරණ සාමාන්‍ය 17.12ක් ලෙස සටහන් වූ අතර ඔහු වාර්තා කර තිබුණේ එක් අර්ධ ශතකයක් පමණයි.

30 හැවිරිදි වියේ පසුවන Rahul බංග්ලාදේශ තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද දැරූ නමුත් පසුගිය කාලසීමාවේ දැඩි පසුබෑමකට ලක් වූ ඔහු අවසන් ඉනිම් 10 දී ලකුණු 23 සීමාව පසු කිරීමට සමත්ව නැහැ.

ඉන්දියාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 47කට සහභාගී ව ඇති ඔහු ශතක හතක් සමඟ ලකුණු 2642ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<