Harbhajan Singhගේ ඉවසීම පනී

4556

පංජාබ් ක්‍රිකට් සම්මේලනයේ (PCA) ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු වන Harbhajan Singh විසින්, PCA කාර්යාල නිලධාරීන්ගෙන් අක්‍රමිකතා සිදු වෙන බවට චෝදනා කරන සිටිනවා.

PCA සාමාජිකයින්ට මෙන්ම දේශපාලනයේ ඉහළ අතුවලට ද ඒ පිළිබඳ දන්වා ඔහු විසින් ලිපි ලියා තිබෙන බව වාර්තා වනවා.

පංජාබ් ක්‍රිකට් සංගමයේ (PCA) ප්‍රධාන උපදේශකයකු ලෙස මෙන්ම, රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු ද වන Harbhajan Singh විසින් PCA හි ඇතැම් නිලධාරීන් විසින් නීති විරෝධි ක්‍රියාවන් වල නිරත වන බවට මෙම චෝදනාව සිදු කර තිබෙනවා.

ඔහු මෙම චෝදනාව සිදු කරන්නේ PCA සාමාජිකයින්ට මෙන්ම, වත්මන් පංජාබ් ප්‍රධාන ඇමති වන Bhagwant Mannට, Aam Aadmi පක්ෂයේ ජාතික කැඳවුම්කරු සහ දිල්ලි ප්‍රධාන ඇමති වන Arvind Kejriwal යන ඉන්දීය දේශපාලනයේ බල කණු වෙත යවනු ලැබූ ලිපියක් මගිනුයි.·

කෙසේ වෙතත් මෙම ලිපියෙන් කිසිදු PCA නිලධාරියකුගේ නමක් හෙළිදරව් කර නොමැති වීම විශේෂත්වයක්.“

මෙම PCA නිලධාරීන් විසින්, තම සංගමයේ තමන්ට ඇති බලය වැඩි කර ගැනීම සඳහා ඡන්ද අයිතිය ඇති සාමාජිකයින් 150 දෙනෙකු අලුතින්ම සංගමයට බඳවා ගැනීමට උත්සහා කිරීමත්, එම බඳවා ගැනීම PCA මහා මණ්ඩලයේ අනුමැතියකින් තොරව හෝ ප්‍රධාන උපදේශකගේ (Harbhajan Singh) උපදෙස්වලින් තොරව සිදු කිරීමට උත්සහ ගෙන ඇත,” යන්න මෙම ලිපියේ හරය ලෙස ගෙන හැර දැක්විය හැකි.

“එබැවින්, මේවා BCCI ව්‍යවස්ථාවට, PCA හි මාර්ගෝපදේශවලට විරුද්ධ අතර, ක්‍රීඩා ආයතනවල විනිවිදභාවය සහ සදාචාරාත්මක සම්මතයන් උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම ඔවුන්ගේ මෙම නීති විරෝධි ක්‍රියාවන් සඟවා තබා ගැනීම සඳහා ඔවුන් PCA හි විදිමත් රැස්වීම් සංවිධානය නොකරන අතර, ඔවුන් ගන්නා සියලු තීරණ තම ආත්මාර්ථකාමී බලාපොරොත්තු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් ගන්නා ඒවා පමණි,” යනුවෙන් Harbhajan විසින් සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් Press Trust of India පුවත් සේවය සමඟින් තවදුරටත් තම අදහස් බෙදා ගත් Harbhajan විසින් පවසා සිටියේ,

“මම ප්‍රධාන උපදේශකයෙක් ලෙස පත් කර තිබුනත්, තීරණ ගැනීම්වල දී ඒ කිසිවකට හෝ මාව සම්බන්ධ කරගන්නේ නැහැ ඔවුන්, ඒ වගේම මෙම නිලධාරීන් තම කාර්යය කරන ආකාරය පිළිබඳව මට දින 10-15 සිට පැමිණිලි ලැබෙමින් පැවතුණා.

අද වෙද්දී ඔවුන් සාමාජිකයින් 60-70ක් පමණ අලුතින් බඳවා ගෙන තිබුණා, එම ක්‍රියාවලිය වහාම නවත්වන්න සංගමයේ සාමාජිකයින්ට වගේම, ප්‍රධාන ඇමතිටත් වෙන් වෙන් වශයෙන් ලිපි ලියනවා හැරෙන්න මට වෙන විසඳුමක් තිබුණේ නැහැ,” යනුවෙනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් මෙවැනි දෙස් විදෙස් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<