Moeen Ali නැවත කිසිදා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකරාවි!

Pakistan vs England Upcoming Test series

2673

මෙම වසර අවසානයේ දී නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali විසින් තීරණය කර තිබෙනවා.

Daily Mail පුවත් පතට ඒ පිළිබඳව ලියමින් Moeen Ali විසින් සඳහන් කර සිටියේ, “මගේ ක්‍රීඩා ජීවිතයේ ඒ පැත්තට විවරව තිබූ දොර වසා දැමීමට කාලයයි,” යනුවෙනි.

එංගලන්ත නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ Brendon McCullum සමඟ කළ සංවාදයකින් අනතුරුව පසුගිය ජුනි මාසයේ තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගිය බව Moeen Ali විසින් සඳහන් කළා.

එමෙන්ම 2021 වර්ෂයේ දී ESPNcricinfo ඇමතූ Ali කියා සිටියේ එය (ටෙස්ට් ක්‍රිකට්) තමන්ගේ “මුළු හදවතටම” නොදැනෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය දා Jos Buttlerගේ ආබාධයෙන් හිස් වූ නායකත්වයේ ඔටුන්න හිස ලා ගත් Ali, එංගලන්තයේ වැඩ බලන නායකයා ලෙස පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 4-3ක් ලෙස ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වීමෙන් පසු Daily Mail පුවත් පතේ තීරු ලිපියකට තම අදහස් එකතු කරමින් පවසා සිටියේ, ඔහු නැවතත් මෙම දෙසැම්බරයේ ටෙස්ට් ක්‍රිකට් සමඟ එකතු නොවන බවයි.

“මෙය මම දුකෙන් යන ගමනක් නෙවෙයි, එය මම තව දුරටත් කිරීමට කැමති දෙයක් නෙවෙයි,” යනුවෙන් ඔහු තීරු ලිපියට ලියා තිබුණා.

“මම මේ සංචාරය ගැන Baz [McCullum] සමඟ අවංකව කතා කරා, මට තවත් මාසයක් විතර හෝටල් කාමරවල හිර වෙලා ඉන්න ගමන් මගේ උපරිමයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න බැහැ.

Baz සහ මම දුරකථනයෙන් දිගු වෙලාවක් කතා කරා, මම කිව්වේ ‘නැහැ, මට සමාවෙන්නෙ. මම නවතිනවා.’  කියලා. ඔහු ඒ දේ තේරුම් ගත්තා, ඔහු දන්නවා ඒ හැඟීම.

ඔව් මම ගිම්හානයේ දී කිව්වා මම විශ්‍රාමික නැහැ (unretired) කියලා. ඒ කාලේ මම අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා බලාගෙන හිටියා, මට ඇත්තටම ඒ ක්‍රිකට් මග හැරුණා කියලා දැනුණා, ඒ විදිහටයි මට හැමදාම සෙල්ලම් කරන්න අවශ්‍ය වෙලා තිබුණේ.

ඒත් මම තවදුරටත් ඒ ගැන හිතද්දී, මගේ සමීපතමයන් එක්ක කතා කරද්දී මට හදවතේ ගැඹුරින්ම දැනුණා මම ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ කියන එක. ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මහන්සි වෙලා කල යුතු ක්‍රීඩාවක්, පාකිස්තානයේ දී අපිට වැටෙන සීමා මායිම් ලිහිල් කරත් මම හිතන්නේ නැහැ මගේ මානසික සැකැස්මේ වෙනසක් සිදු වේවි කියලා. මට දැන් 35ක්, ඉතින් සමහර දේවල්වලට යන්න දෙන්න දෙන්න වෙනවා.”

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට ජනාධිපතිවරයකුට ලබා දෙන මට්ටමේ ආරක්ෂාවක් සපයා ඇති අතර, ඔවුන් කරච්චි සහ ලාහෝර් වල ලැගුම් ගෙන සිටි හෝටල් කාමරවලින් පිටතට පැමිණියේ ද ඉතාම කලාතුරකිනි. එමෙන්ම එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක යෙදෙන්නේ 2005-06 වර්ෂවලින් අනතුරුවයි.

McCullumගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව දිශානතියකට යොමු වී ඇති බවත්, පසුගිය ග්‍රීෂ්ම කාලය තුල එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ හතෙන් හයක්ම ජය ගැනීමට මෙම නව ක්‍රමවේදය ඉවහල් වූ බවත් Ali විශේෂයෙන්ම සඳහන් කර තිබුණා.

එමෙන්ම එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට ඔහුගෙන් ලැබිය යුතු දායකත්වය මෙන්ම, ලොව පුරා පැවැත්වෙන විවිධ විස්සයි විස්ස ලීග් තරගාවලි (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලුතින්ම ඇරඹීමට නියමිත ILT20 ලීගය වැනි) වලට ඔහුගෙන් ලැබෙන දායකත්වය ද ඔහුගේ මෙමෙ තීරණයට බලපෑම් කර තිබුණා.

“මට ක්‍රිකට් ක්‍රීඩාව විඳින්නට අවශ්‍යයි, මගේ තීරණ නැවත වෙනස් කරමින් හැම දෙයක්ම බදා ගැනීමට අරගල කිරීම එක අතකින් අසාධාරණ ක්‍රියාවක්. සීමිත ඕවර තරග සහ ලීග් ක්‍රිකට් තරගාවලි එක්ක කාර්‍ය බහුල වෙලා ඉන්න මට, මගේ පවුලේ අය එක්ක කාලය ගත කරන්න ලැබෙන සීමිත අවස්ථාවත් ගොඩක්ම වටිනවා.

කොහොම වුනත්, ගොඩක් සතුටුයි අපේ ක්‍රීඩකයෝ තමන්ගේ උපරිමය දෙන්න මහන්සි වෙන හැටි දැක්කාම, මේ තරගාවලිය වගේම ටෙස්ට් තරගාවලියේ දීත් ඔවුන් උද්‍යෝගිමත්ව ක්‍රීඩා කරන බව මට විශ්වාසයි.

නමුත් මට නම්, ඒ පැත්තෙන් මගේ ක්‍රිකට් ජීවිතයේ දොර වසා දැමීමේ කාලය එළඹිලා. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64ක් ක්‍රීඩා කිරීමට ලැබීම ඉතාම භාග්‍යයක් වනවා වගේම, මගේ සිහිනයක් සැබෑ වීමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්,” Ali එලෙසින් පුවත්පතට සඳහන් කර තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි උණුසුම් තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com  සමඟින්.

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<