එංගලන්තයට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ

234

එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම සංචිතයට 19 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා හා හයිඩර් අලි ද ඇතුළත්ව ඇත.

මේ වන විට පාකිස්තාන කණ්ඩායම එංගලන්තය සංචාරයකට එක්ව සිටින අතර එම තරගාවලිය සඳහා වන ජෛව ආරක්ෂක පද්ධතියේ ක්‍රීඩකයන් වන මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික් සහ වහබ් රියාස් ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයකි.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සෆ්‍රාස් අහමඩ් හා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ද මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. කෙසේ වෙතත් මේ වසර මුලදී පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ලකුණු අතර සිටි ෂාන් මසූඩ් මෙම සංචිතය සඳහා නම් කර නොතිබීම කැපීපෙනෙන කරුණකි. 

පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් කමිටු මිස්බා උල් හක් මෙම නම් කළ සංචිතය පිළිබඳව අදහස් දක්වා තිබුණි.

“විස්සයි විස්ස තරගවලට අපි යොදාගන්න සුපුරුදු පාකිස්තාන කණ්ඩායම මේ තරගාවලියටත් අපි යොදාගන්නවා. හැමවෙලේම ප්‍රවීණයන්ටම අවස්ථාව දෙන්නේ නැතිව අපි නවක ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් දෙන්න තීරණය කළා. ඒ නිසා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය වගේම වයස අවුරුදු 19න් පහළ තරගාවලිවල දී දස්කම් දක්වපු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙනවා. ඒ නිසා තමයි අපි හයිඩර් අලි, නසීම් ෂා වගේ නවක ක්‍රීඩකයන් එක්කරගත්තේ. මේ කොරෝනා වයිරසය එක්ක නිකුත් කරපු අලුත් නීති එක්ක අපිට ක්‍රීඩක සංචිතය වැඩි කරන්න අවස්ථාවක් ලැබිලා තියනවා. ඒ නිසා අපිට තියන විකල්පත් වැඩිවෙනවා. ” 

“අපේ පළපුරුදු පන්දු යවන්නන් දෙදෙනා විදිහට මොහොමඩ් අමීර් සහ වහබ් රියාස් මේ සංචිතයට අපි එක් කළා. අපේ ප්‍රබල තුරුම්පුවක් වෙන ෆකාර් සමන් සහ සෆ්‍රාස් අහමඩ් නැවත පිටියට පැමිණෙනවා.” 

තවත් ක්‍රිකට් පුවත්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2019 වසරේ දී සීමිත පන්දුවාර තරගවල දී එතරම් දස්කම් දැක්වීමට සමත්වූයේ නැත. එම වසරේ අවසන් කාලය තුල පැවති තරග 10න් 8ක් ම පරාජය වීමට පාකිස්තානයට සිදු විය. 

තම පරාජිත මානසිකත්වයට තරමක හෝ සහනයක් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වූයේ මෙම වසර මුලදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ද්විත්ව ජයග්‍රහණ වාර්තා කරමිනි.

“සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක විස්සයි විස්ස කණ්ඩායම එකට ක්‍රීඩා කරන්නේ කෙටි කාලයයි.  ඒත් වර්තමානයේ තියන තත්ත්වයත් එක්ක මේ සංචිතයේ බොහෝ ක්‍රීඩකයින් ප්‍රමාණයක් දැන් මාසයකට වැඩි කාලයක් එංගලන්තයේ ඉන්නේ. ඔවුන් දැන් මේ දේශගුණයට හුරුවෙලා ඉන්නේ. ඒක ඔවුන්ට කණ්ඩායමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න හොඳ අවස්ථාවක් දීලා තියනවා. ඒ වගේම ඒක තරුණ ක්‍රීඩකයින්ටත් ලොකු අවස්ථාවක් වෙනවා” මිස්බා පැවසීය.

“මේ නිසා මම හිතන්නේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබෙන ක්‍රීඩකයින්ට වුනත් ඔවුන් මෙහි දී ලබා ගන්න අත්දැකීම්වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි එංගලන්තය ගැන බැලුවොත් ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියනවා. මේ තරගාවලිය තරගකාරී තරගාවලියක් වේවි. තරගාවලිය පුරාවටම හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

මැන්චෙස්ටර් හි පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් පළමුවැන්න අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

එංගලන්තය සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කල පාකිස්තාන සංචිතය: 

බාබර් අසාම් (නායක), ෆකාර් සමන්, හයිඩර් අලි, හරිස් රවුෆ්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් අමීර්, නසීම් ෂා, සෆ්‍රාස් අහමඩ්, ෂහීන් ෂා අෆ්රිඩි, ෂොයිබ් මලික්, වහබ් රියාස්. 

එංගලන්ත පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන

  • පළමු තරගය – අගෝස්තු 28 මැන්චෙස්ටර් හිදී
  • දෙවන තරගය – අගෝස්තු 30 මැන්චෙස්ටර් හිදී 
  • තෙවැනි තරගය – සැප්තැම්බර් 01 මැන්චෙස්ටර් හිදී 

පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය පසුගිය අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වූ අතර ටෙස්ට් තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් එයට ඇතුළත් විය.

එංගලන්ත පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය මේ වන විට සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වේ. එම තරගාවලියේ 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන ඇත්තේ එංගලන්තයයි.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <