Wriddhiman Saha සහ බෙංගාල් ක්‍රිකට් අතර විරසකය තවත් උග්‍ර වෙයි

5239

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩක Wriddhiman Saha සහ බෙංගාල් ක්‍රිකට් සංගමය අතර පසුගිය මාස කිහිපය පුරාවටම උඩු දුවමින් පැවති මතභේදාත්මක විරසකය මේ වන විට තවදුරටත් උග්‍ර අතට හැරී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ඉදිරි දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිත අතර ජාර්කන්ද් කණ්ඩායමට එරෙහිව ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේ තරගය සඳහා තමන් සංචිතය වෙත ඇතුළත් කර නොගන්නා ලෙසට Wriddhiman Saha මින් ඉහත දී බෙංගාල් ක්‍රිකට් සංගමය වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබුණා.

එම සංගමයේ ලේකම් Avishek Dalmiya මහතා Saha විසින් ගනු ලැබූ මෙම තීරණය නැවත සලකා බලන ලෙස ඔහුගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කර නමුත් ඒ සඳහා ඔහුගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

Espncricinfo වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුව මේ වන විට Saha සහ බෙංගාල් ක්‍රිකට් සංගමය අතර පවතින මතගැටුම විසඳීමට නම් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවත් එම නිසා වඩාත් සුදුසුම පියවර වන්නේ තමන් සමඟ අත්සන්කොට ඇති ගිවිසුම අහෝසිකොට Saha හට ඔහුගේ අභිමතය පරිදි අවශ්‍ය කණ්ඩායමකට යා හැකි අයුරින් කටයුතු සැලසුම් කිරීමට වඩාත් උචිත බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවතට ඇඳී යාමත් සමඟම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid සහ BCCI සභාපති Sourav Ganguly යන මහත්වරුන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබූ Saha ඉන් අනතුරුව රංජි කුසලාන තරගාවලිය සඳහා තවදුරටත් තම දායකත්වය ලබා නොදීමට තීරණය කළ බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ඔහුගේ එම තීරණය සම්බන්ධයෙන්  බෙංගාල් ක්‍රිකට් සංගමයේ ලේකම් Avishek Dalmiya මහතා තම අප්‍රසාදය පළකොට තිබුණේ මේ අයුරිනි.

“මට සාධාරණ හේතුවක් පෙන්නලා දෙන්න පුළුවන් ද Wriddhi රංජි කුසලානයට ක්‍රීඩා නොකර ඉන්න? ඔහු ඉන්දීය සංචිතයෙත් නැත්තන් බෙංගාල් කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි ඇයි කියන එක මට ප්‍රශ්නාර්ථයක්. සරලවම පේන්න තියෙන කාරණාව තමයි ඔහුට කිසිම වගකීමක් නැහැ තමන් අවුරුදු ගාණක් ක්‍රීඩා කරන බෙංගාල් කණ්ඩායම ගැන මොකද පළවෙනි වතාව නෙමෙයි ඔහු මේ වගේ ක්‍රීඩා කරන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරපු.

“ඒ හැම වෙලාවකම ඔහුට තිබ්බ හේතු වුනේ එක්කෝ ඇඟ පත රිදෙනවා කියන එක හරි කකුළ රිදෙනවා එක හරි වගේ දෙයක්. අපිටත් මේ දේවල් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔය තරම් මුරණ්ඩු නම් අපිට වුනත් ඔහු ඉදිරියේ තවත් බයාදු වෙන්න උවමනාවක් නැහැ. ඕනම ක්‍රීඩකයෙක් මතක තියාගන්න ඕනෑ ප්‍රාන්ත ක්‍රිකට් සංගමයක් කියන්නේ එක ක්‍රීඩකයෙක්ට ඕන ඕන විදියට කටයුතු කරන තැනක් නෙමෙයි කියලා.”

Dalmiya මහතාගේ මෙම ප්‍රකාශය නිසාවෙන් තම සැමියා දැඩි සිත් තැවුලෙන් පසු වූ බවට Wriddhiman Sahaගේ බිරිඳ අවධාරණයකොට තිබූ බවබද ESPNcricinfo සඳහන් කර සිටින්නේ Sahaගේ මානසික මට්ටම නැවත යථා තත්වයට රැගෙන එමින් බෙංගාල් කණ්ඩායම යලි නියෝජනය කිරීම සඳහා ඒත්තු ගැන්වීමට ඇය දැඩි ප්‍රයත්නයක් ගත් බව ද සඳහන් කරමිනි.

කෙසේ නමුත් එම සියලු උත්සාහයන් අපතේ ගොස් තිබෙන්නේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා නම් කළ සංචිතයට තවදුරටත් Sahaගේ නම ඇතුලළත් කර නොමැති බවට ප්‍රකාශයට පත්වීමත් සමඟිනි.

තවත් ආරංචි මාර්ග කිහිපයකට අනුව බෙංගාල් ක්‍රීඩකයින් සඳහා සකසා තිබෙන Whatsapp සමූහයෙන් ද Saha ඉවත්ව තිබෙන්නේ තවදුරටත් ඔවුන් සමඟ කටයුතු කිරීමට ඇති අකමැත්ත පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි.

ඒ අනුව තම මංගල පළමු පෙළ තරගය නියෝජනය කරමින් වසර 15ක් පුරාවට සිය දායකත්වය ලබා දුන් බෙංගාල් කණ්ඩායමට ආයුබෝවන් කීමට Saha තීරණයකොට ඇති බවට උපකල්පනය කළ හැකි බව බොහෝ ඉන්දීය ක්‍රිකට් විචාරකයින් මේ වන විට ප්‍රකාශකොට තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<