ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පුහුණුකාරීත්වයට අලුත් මුහුණක්

316

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන මහතා පත්කර තිබේ. ඒ 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වායි.

සුදර්ශන මහතා මීට පෙර ශ්‍රී ලකා ක්‍රිකට්හි දස්කම් සංවර්ධන අංශයේ (high-performance center) පිතිකරණ පුහුණුකරු ලෙස වැඩ කටයුතු සිදුකරමින් සිටියේය. හෂාන් තිලකරත්න මහතාගේ නිල ධුර කාලය අවසන් වීම නිසාවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අසුන සඳහා මෙලෙස සුදර්ශන මහතා පත්ව තිබේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

වයස අවුරුදු 44ක් වන සුදර්ශන මහතා වසර 10කට වඩා වැඩි කාලයක් තිස්සේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. රිච්මන්ඩ් විද්‍යාලය (මහින්ද විද්‍යාලයට එරෙහිව) ඔවුන්ගේ පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග තුනක් සුදර්ශන මහතාගේ පුහුණුකාරීත්වය සහ මඟ පෙන්වීම යටතේ ජයග්‍රහණය කර තිබේ.  

එසේම එම ගෙවුනු කාලය තුළ පාසල් ක්‍රිකට් ශූරතාවයන් 10ක් රිච්මන්ඩ් විද්‍යාලයට දිනා දීමට ඔහුගේ මඟ පෙන්වීමට හැකියාව ලැබී ඇති අතරම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර තලයට සහ දේශීය ක්‍රිකට් පිටියට අවතීර්ණ කරවීමට ඔහුගේ මඟ පෙන්වීම එම ක්‍රීඩකයින්ට විශාල රුකුලක් වී තිබේ. 

ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ කමිඳු මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් රැසක් ධම්මික සුදර්ශන මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ලොව දිනූ ක්‍රීඩකයින් බවට පත්ව තිබෙන අතර දේශීය ක්‍රිකට් පිටිය තුළ ද ඔහුගේ ගුරුහරුකම් ලබාගෙන පැමිණ තිබෙන ක්‍රීඩකයින් ගණන අතිමහත්ය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වරම් දිනාගැනීමට සුදර්ශන මහතා හට නොහැකි වුවත් දකුණතින් පිතිකරණයේ නිරත වන ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 129කට සහභාගී වෙමින් ලකුණු 5000කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කර ගනිමින් දස්කම් දක්වා තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<