Grant Flowerටත් විනය පරීක්ෂණයක්

3185
Grant Flower

ශ්‍රී ලංකාඑංගලන්ත තරගාවලිය අතරතුර ජෛව ආරක්‍ෂිත වටපිටාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු Grant Flower එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වෙනවා. මේ බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග විසින් අද (15) දින තහවුරු කළා

ශ්‍රී ලංකා කණ්ඩායම සිය එංගලන්ත සංචාරය නිමා කරමින් පසුගිය 06 වනදා මෙරටට පැමිණියා. ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණ වලදී පිතිකරණ පුහුණුකරු Grant Flower හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබුනා. එය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර තරගාවලිය සඳහා දැඩි බලපෑමක් එල්ල කළ අතර එය දින කිහිපයකින් කල්දැමීමටත් තීරණය කර තිබුනා

එංගලන්ත තරගාවලිය අතරතුර ජෛව ආරක්‍ෂිත වටපිටාවේ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට එවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුනා. ඔවුන් තිදෙනා Durham හි ක්‍රීඩකයන් නවාතැන් ගෙන තිබූ හෝටලයෙන් පිටතට පැමිණ රාත්‍රී කාලයේ වීදියක සැරිසරන ආකාරය එරට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීයෙකු විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනා

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

මේ අතර ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු Grant Flower මෙම ජෛව ආරක්‍ෂිත වටපිටාව තුළ පවතින නීති රීති සහ COVID-19 නීති උල්ලංඝනය කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා

පිතිකරණ පුහුණුකරු Grant Flower ජෛව ආරක්‍ෂිත වටපිටාවේ නීති රීති උල්ලංඝනය කරලා තියෙනවා කියලා අපිට වාර්තා වුනා. ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලැබුවට පස්සේ අපි පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපුටා දක්වමින් AFP වාර්තා කර තිබුනා

මේ අතර Grant Flower මෙරට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ඔහු දැක්වූ දක්ෂතා සහ ඔහුගේ සේවාව පිළිබඳව ක්‍රිකට් ආයතනය නොසතුටට පත්ව සිටින බව ද වාර්තා වෙනවා. Grant Flower 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා මෙරට පිතිකරණ පුහුණුකරු ලෙස එක්වූ අතර ඔහුගේ නිල කොන්ත්‍රාත් කාලය එළඹෙන දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතයි

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානයේ පසුවන අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල නවවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන දක්ෂතා මත පදනම් වූ කොන්ත්‍රාත් ක්‍රමය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමෙන් ඉවත් කර නවක ක්‍රීඩකයන් සමඟින් තරගාවලි සඳහා සහභාගී වීමට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය පිළිබඳව ද දැඩි විවේචන එල්ල වෙනවා

Grant Flower හට කොරෝනා වෛරසය ආසාධනය වීමත් සමඟින් ඔහු ඉන්දීය තරගාවලිය සඳහා පුහුණුකාරීත්වයෙන් ඉවත් කෙරුනු අතර ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ධම්මික සුදර්ශණ මහතා පසුගියදා පත්කෙරුනා. ඔහු එළඹෙන ඉන්දීය තරගාවලිය සඳහා මෙරට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වෙනවා. තරගාවලිය ජූලි මස 14 වනදා ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුන ද Grant Flower හට කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා තරගාවලිය දින 5කින් කල්දැමීමට තීරණය කරනු ලැබුවා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<