Gavaskarගෙන් Kohliට අනතුරු ඇඟවීමක්

9250

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින තරගය නිමා වුනේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිකර දෙමින්.

අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ එම තරගයේ දී හිටපු ඉන්දීය නායක Virat Kohliගේ අසාර්ථකත්වය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

මෙම තරගය Kohliගේ නායකත්වය අවසන් වීමෙන් පසු ඔහු සහභාගී වූ පළමු තරගය වුනා. කෙසේ වෙතත් Virat Kohli පසුගිය කාලය තුල ක්‍රිකට් පිටියේ යම් පසුබෑමකට ලක්ව සිටි බව නොරහසක්. මේ පිළිබඳව බොහෝ ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අදහස් දක්වා සිටි අතර ඒ අතර Sunil Gavaskar ද සිටියා. Virat Kohliගේ දුර්වල දස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය හිටපු නායක Sunil Gavaskar ඔහුට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලියේ ආරම්භක තරගය පසුගිය ඉරිදා (06) අහ්මදාබාද් හිදී පැවැත්වුනා. තරගයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 60ක් ලබා සිටි නායක Rohit Sharma දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි Virat Kohliව බටහිර ඉන්දීය පන්දු යවන්නන් පිළිගනු ලැබුවේ කෙටි පන්දු කීපයකින්.

කෙසේ වෙතත් Alzarri Josephගේ පළමු පන්දු දෙකම හතරේ සීමාවට යැවීමට Kohli සමත් වුනා. සිව්වැනි පන්දුව ද කෙටි පන්දුවක් වූ අතර කිසිදු පාලනයකින් තොරව පහර දුන් Kohli එම පන්දුවේ දී දැවී ගියේ Kemar Roach හට උඩපන්දුවක් ලබා දෙමින්.

තරගයේ පන්දු හතරකට පමණක් මුහුණ දුන් Kohli එහි දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 8ක් ලබාගෙන තිබුණා. මෙම ලකුණු 8ත් සමඟින් Kohli ඉන්දියාවේ දී එක්දින ලකුණු 5000 සීමාව පසුකිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කළ ද, අවසානයේ දී බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ Virat Kohliගේ අසාර්ථකත්වය සහ ඔහු දැවී ගිය ආකාරයයි.

මේ පිළිබඳව Star Sports සමඟින් වැඩසටහනකට එක්වෙමින් Sunil Gavaskar සිය අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ පසුගිය මාසයේ දී ඉන්දීය කණ්ඩායම එක්වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ දී ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් Kohli හට කෙටි පන්දු යොමුකරමින් දවා ගැනීමට උත්සාහ කළ බවයි.

එහි දී Gavaskar පවසා සිටියේ යම් අවස්ථාවක දී Kohli කෙටි පන්දු මඟ හරින විට හෝ නිදැල්ලේ යාමට සලස්වන විට පන්දු යවන්නන් වෙනත් උපාය ක්‍රම වෙත යොමු වන බවයි. නමුත් යම් අවස්ථාවක දී Kohli නිතරම hook පහර එල්ල කරන්නේ නම් එමඟින් ඔහු දවා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින නිසා පන්දු යවන්නන් කෙටි පන්දු යැවීමට නැඹුරු වන බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් Gavaskar පවසා සිටියේ Kohli මීළඟ තරග දෙකේ දී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

“දකුණු අප්‍රිකාවේ දී අපි දැක්කා ඒ පන්දු යවන්නන් එක්දින ක්‍රිකට් තරගවල දී Kohliට කෙටි පන්දු යොමුකරමින් දවා ගන්න උත්සාහ කළා. නමුත් ටෙස්ට් තරගවල දී ඔවුන් ඒක කළේ නැහැ. ටෙස්ට් තරගවල දී පන්දු මඟ හරින්න අවස්ථාව තිබුනත්, එක්දින තරගවල දී එහෙම කරන්න බැහැ. ඒ නිසා Kohli hook පහරට යන්න උත්සාහ කරනවා. ඔහු සැබවින්ම දවා ගන්න අමාරු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු එක්දින තරගවල දී පන්දු නිදැල්ලේ යවන්නේ නැති ක්‍රීඩකයෙක්. මේ නිසා පන්දු යවන්නන් උත්සාහ කරනවා කෙටි පන්දුවලින් ඔහුව දවා ගන්න”, Gavaskar පවසා සිටියා.

“මේ අවස්ථාවේ මට තේරෙන විදිහට Kohli මේ උපක්‍රමය නිවැරදිව තේරුම් අරන් නැහැ. ඔහු කෙටි පන්දුවේ ඉපිලීම නිවැරදිව තේරුම් නොගෙන hook පහර එල්ල කරනවා. මේ නිසා පන්දුව පිත්තේ හරිම තැන වදින්නේ නැහැ. පිත්තේ කෙළවරේ වදින පන්දුව උඩ පන්දුවක් විදිහට ලබා ගන්නවා. ඒ නිසා ඔහු ඉතිරි තරගවල දී තව ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. කෙටි පන්දුවලට මුහුණ දෙන්න ඔහු සූදානම් විය යුතු බව මගේ හැඟීමයි.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක Rohit Sharma පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

ඉන් අනතුරුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම ලකුණු 176කට සීමා කිරීමට Yuzvendra Chahal ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් සමත් වුනා. Yuzvendra Chahal ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත් අතර Washington Sundar ලකුණු 30කට කඩුලු 3ක් දවාගෙන තිබුණා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Jason Holder ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් වුනා.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28ක දී ලකුණු 178ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. නායක Rohit Sharma ලකුණු 60ක් වාර්තා කළ අතර Alzarri Joseph කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ඉන්දීය බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි එක්දින තරගය එළඹෙන පෙබරවාරි 9 වැනිදා පැවැත්වීමට නියමිත අතර තුන්වැනි සහ අවසන් තරගය පෙබරවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<