Euro කුසලානයට සැඟවී යලි හිස ඔසවන යුරෝපයේ තෙවැනි රැල්ල

UEFA Euro 2020

359

ගෙවුණු වසරක කාලසීමාව පුරාවට සජීවි පාපන්දු තරග අත්දැකීමක් විඳගැනීමේ දැඩි පිපාසාවෙන් පසු වූ යුරෝපීය පාපන්දු ක්‍රීඩාලෝලීන් හට යලි තම ප්‍රියතම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලොව ප්‍රබලතම ජාතික කණ්ඩායම් රැසක් එකම වේදිකාවක තරග වදින Euro 2020 තරගාවලිය සියැසින් දැක බලා ගැනීමේ අනගි අවස්ථාව උදා වූයේ ක්‍රීඩාවේ අනාගතයට ද නැවුම් බලාපොරොත්තුවක් එක් කරමිනි.

ඒ අනුව අපේක්ෂා කළ පරිදි ඉතාමත් තරගකාරී මුහුණුවරකින් දියත් වූ තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය පසුගිය ඉරිදා දිනයේ දී (11) ක්‍රියාත්මක වූයේ එංගලන්තයේ සුප්‍රසිද්ධ Wembley ක්‍රීඩාංගණය කේන්ද්‍රකර  ගනිමිනි. 

ඉතාමත් උණුසුම්, කරට කර සටනකින් අනතුරුව සත්කාරක එංගලන්ත කණ්ඩායමට පරදා විශිෂ්ට ජයක් අත්පත් කර ගත් ඉතාලි කණ්ඩායම එහි දී දෙවැනි වරටත් යුරෝපීය ශූරයින් ලෙස අභිෂේක ලැබුවේ 2006 වර්ෂයෙන් පසුව සටහන් කර ගත් තම ප්‍රථම අන්තර්ජාතික තරගාවලි ලෙස වාර්තා පොත් අලුත් කරමිනි.

කෙසේ නමුත් අවසන් මහා තරගය නැරඹීම සඳහා Wembley ක්‍රීඩාංගණය වටා එක්රොක් වී සිටි බහුතරයක් වූ පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. 

Delta නව කොරෝනා වයිරස් ප්‍රභේදය යුරෝපා මහද්වීපය පුරා පැතිර යාමේ දැඩි අවදානම් සහගත තත්වයක් නිර්මාණය වී තිබිය දී ද මේ අයුරින් ජනතාවට නිදහසේ සංචරණය කිරීමේ අවස්ථාව සලසා දීම පිළිබඳ තරග සංවිධායකවරුන් වෙත මේ වන විට දැඩි දෝෂාරෝපණයන් එල්ල වෙමින් තිබේ.

තවත් පාපන්දු පුවත්:

Delta වයිරස් ප්‍රභේදය අනෙකුත් වයිරස් කාණ්ඩයන්ට සාපේක්ෂව ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින මොහොතක දී මේ අයුරින් ජනතාවට රිසි සේ හැසිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිළධාරීහූ රැසක් සිය අසතුට පළකොට තිබෙන අයුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක ගන්නට ලැබුණි. 

WHO තාක්ෂණික නිළධාරිණියක් ලෙස කටයුතු කරන Maria Van Kerkhove මහත්මිය තම ස්ථාවරය Twitter පණිවිඩයක් ඔස්සේ අවධාරණය කර තිබුණේ මේ අයුරිනි.

ජුනි මාසයේ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එක්සත් රාජධානිය සහ යුරෝපා පාපන්දු සම්මේලනය අතර ඇති කර ගත් එකඟතාවන් මත 90,000ක ප්‍රේක්ෂක ධාරිතාවකින් යුත් Wembley ක්‍රීඩාංගණයේ මුළු ආසන සංඛ්‍යාවෙන් 75%ක් සම්පූර්ණ වන පරිදි තරග නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් වෙත සලසා දීමට තීරණය කළා. 

නව සාමාන්‍ය තත්වයන් යටතේ සුපුරුදු යාන්ත්‍රණයන් සඳහා ජනතාව සූදානම් කිරීමේ “Events Research Programme” (ERP) වැඩසටහනේ මූලික පියවරක් ලෙස මේ සඳහා අනුමැතිය ලබා දීමට බ්‍රිතාන්‍ය රජය කටයුතුකොට තිබුණි.

විශාල ජනකායක් ඒකරාශී වන මෙවැනි ක්‍රීඩා ඉසව් උපයෝගී කරගනිමින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා යොදාගත හැකි විධිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් ගොඩනැඟීම  ERP වැඩසටහනෙහි ප්‍රධාන අරමුණු කිහිපයෙන් එකක් බව බ්‍රිතාන්‍ය රජයේ නිළධාරීන්  විසින් මින් ඉහත අවස්ථාවක දී ද සඳහන්කොට තිබුණි. 

ඒ අනුව තරග නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් හට සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයන්හී ප්‍රතිඵල මත අවශ්‍ය ඉදිරි පියවර අනුගමනය කිරීමට කටයුතු කරන බව එරට සෞඛ්‍ය අංශ සඳහන්කොට ඇත.

නමුත් මෙහි දී සිදු කරනු ලබන Innova lateral flow පරීක්ෂණයෙහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් 100%ක තක්සේරුවක් ලබා දීම අපහසු බවත් යම්හෙයකින් අයෙකුට වයිරසය ආසාදනය වී තිබෙන්නේ අඩු සාන්ද්‍රණයකින් නම් එය නිශ්චය කරගැනීමේ යම් අපහසුතාවක් පවතින බවත් විද්වතුන් පෙන්වාදී තිබේ. 

WHO හදිසි ආපදා අංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිණී Katie Smallwood මහත්මිය තරගාවලිය ආරම්භයට  පෙරාතුව සිටම ප්‍රේක්ෂකයින් හට ක්‍රීඩාංගණනයන්ට ඇතුළු වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් තම විරෝධය ප්‍රකාශ කර සිටියේ මෙය රෝග ව්‍යාප්තිය තවදුරටත් වේගවත් කිරීමට දායක විය හැකි මර උගුලක් බව සඳහන් කරමිනි.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<