ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොරෝනා

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

382

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන Grant Flower හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව අද (08) තහවුරු වුනා. ඒ අනුව ඔහුව අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා වහාම යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් දැනට තිබෙන තත්වය අනුව ඉන්දීය තරගාවලිය සැලසුම් කර පරිදිම පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට සහ නිලධාරීන් හට හෙට (09) දිනයේ දී තවත් PCR පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එහි ප්‍රතිඵල අනුව තරගාවලියේ ඉදිරිය ගැන තීරණය වනු ඇත.

පසුගිය ජූලි 4 වැනිදා නිමාව දුටු ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක Phil Whitticase මහතා හට COVID-19 වයිරසය ආසාදනය වුනු බව ජුනි 27 වැනිදා තහවුරු වුනා. 

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියක් ද පසුගිය 28 වැනිදා අලුයම වාර්තා වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඊට අමතරව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයේ සිව්දෙනෙක් හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය 6 වැනිදා සවස තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත තරග සංචාරය අවසන් කරමින් පසුගිය 6 වැනිදා දිවයිනට පැමිණ දැනට නිරෝධායනය වෙමින් පසුවෙනවා. එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝධායනය මේ මස 10 වැනිදා අවසන් කිරීමට පෙර සැලසුම් කර තිබුණු නමුත් හෙට දිනයේ දී ලැබෙන PCR ප්‍රතිඵල අනුව එම තීරණය වෙනස් වීමටද ඉඩකඩ පවතිනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

පළමු එක්දින තරගය – ජූලි 13

දෙවැනි එක්දින තරගය – ජූලි 16

තුන්වැනි එක්දින තරගය – ජූලි 18

පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21

දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23

තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<