“ඩි කොක්ට ටෙස්ට් නායකත්වය ගන්න අවශ්‍ය නැහැ” – ස්මිත් 

106

පසුගිය පෙබරවාරි මාසයේ දී ෆෆ් ඩු ප්ලෙසිස් දකුණු අප්‍රිකානු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වූ දා සිට මේ දක්වා ධුරය පුරප්පාඩු වී තිබේ. ක්වින්ටන් ඩි කොක් මේ වන විට දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර නායකයා වන බවත් ඒ නිසාවෙන් ඔහුට ටෙස්ට් නායකත්වය ලබා දීමේ වුවමානවක් නොමැති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත් පවසා තිබේ. 

IPL ශ්‍රී ලංකාවේ ද? ඉන්දියාවෙන් පිළිතුරක්

දැනට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති…

මේ දිනවල ලොව පුරා පැතිර යන නව කොරෝනා වසංගත තත්වය නිසා දකුණු අප්‍රිකාව හෝ ලොව කිසිඳු කණ්ඩායමක් මීළඟට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කවදාද, කොතැනද සහ කාට එරෙහිවද? යන්න කිසිවෙකු දන්නේ නැත. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් සජීව තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ මේ මාධ්‍ය හමුව ග්‍රැහැම් ස්මිත්ගේ නිල පත්වීම ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති අතර එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්  ස්මිත් ඔවුන්ගේ මීළඟ ටෙස්ට් නායකයා පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. 

“අපේ මීළඟ ටෙස්ට් නායකයා කවුද කියලා දැන්මම ඕගොල්ලන්ට හරියට කියන්න මට බැහැ. හැබැයි ඒ නායකයා ක්වින්ටන් ඩි කොක් නෙමෙයි කියලා නම් මට පැහැදිලිවම කියන්න පුළුවන්. අපි තවමත් ඒ නායක තනතුර ලබා දෙන්නේ කාටද කියන එක ගැන විවාද මට්ටමක ඉන්නේ. අපිට ටෙස්ට් කණ්ඩායම තුළ එක සමාන මට්ටමේ ස්ථාවර නාමයන් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා. නමුත් අපිට දැන්මම හරියටම කියන්න බැහැ කවුරුන් නායකයා වෙයිද කියලා.” 

ස්මිත්ගේ තනතුර ස්ථිර වෙයි

වයස අවුරුදු 39ක් වන හිටපු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් ස්මිත් ඉදිරි වසර දෙකක කාලය …

“අපට මේ අයගේ නායකත්ව පෞරුෂයන් පිළිබඳව අවබෝධ කර ගත යුතුව තිබෙනවා. ඒකට අපි ඔවුන්ගේ චරිත ලක්ෂණ හොඳින් අධ්‍යනය කරන්නට ඕනේ. සමහර විට අපි ගන්න යම් යම් තීරණ වල අවදානම් තත්ත්ව තියෙන්නත් පුළුවන්. නායකත්වයේ වගකීම තියාගෙන, ඒ පීඩනය තියාගෙන කණ්ඩායම මෙහෙය වීමේ වගකීම තියෙන ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ. අමතක කරන්න එපා, මේ තරග රටාවේ එක් තරගයක් දවස් 5ක් පුරාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නායකත්වයේ දෘෂ්ටි කෝණයකින් කණ්ඩායමේ පරිසරය සහ ඉන් පිට පරිසරය තුළ යම් විශ්වසනීයත්වයක් ඇත්තේ කාටද යන්න තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒ ඒ කරුණු ගත්තහම ක්වින්ටන් අපගේ සීමිත පන්දුවාර නායකයා, ඒක ආයිත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔහු නෙමෙයි අපේ මීළඟ ටෙස්ට් නායකයා.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්මිත් පවසන ලදි. 

වයස අවුරුදු 27ක් වන ඩි කොක් මේ වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තරග රටාවන් තුන තුළම සිටින ප්‍රබලම ක්‍රීඩකයෙකි. ඔහු මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 47ක්, එක්දින තරග 121කට සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 44කට සහභාගී වී අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙකු වුවද ඔහු පිළිබඳව ස්මිත් ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් දරන්නේ වෙනමම මතයක්. 

“ඩි කොක් කියන්නේ අංශ තුනේම ඉන්න අපේ ප්‍රබලම තුරුම්පුවක්, ඒක ඇත්ත. එහෙමයි කියලා කණ්ඩායමේ හැම පීඩනයක්ම ඔහුට දෙන්න හොඳ නැහැ. ඔහුට ඒක ගන්න පුළුවන් නම් ඒක හොඳයි, නමුත් ඒකට ඔහුට අපි තව ටිකක් කල් දෙන්න ඕනේ. ඔහු අපේ ප්‍රධාන කඩුලු රකින්නා. ඒ වගේම කණ්ඩායමේ ඉන්න ප්‍රධාන පිතිකරුවෙක්. මොකද ඔහුගේ වගකීම්, ඔහුට ලැබෙන පීඩනය එක පාරටම වැඩි කරන්න අපිට බැහැ. මොකද එහෙම දීලා නිකමට හරි ඔහු අසාර්ථක වුනොත් ඒක ඔහුගේ අනාගත ක්‍රිකට් දිවියට වගේම අපේ ක්‍රිකට් අනාගතයටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.” 

පස්වැන්නා ලෙස ඉන්දියාව 2021 ලෝක කුසලානයට

2021 වසරේ පැවැත්වීමට නියමිත ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සිය ස්ථානය තහවුරු කර ගත් 5 වැනි රට බවට පත්වීමට ඉන්දියාව …

ස්මිත් මෙසේ පවසන විට ඔහුගේ මේ නිර්ණායක වලට ගැලපෙන වෙනත් ක්‍රීඩකයෙකු ඔවුන් සතුව සිටී ද යන්න අප සියල්ලන්ටම ගැටළුවක්. අත්දැකීම් බහුලත්වය, නායකත්ව පෞරුෂයන්, නායකත්වයේ දෘෂ්ටි කෝණය, වගකීම් ලබා ගැනීමට තිබෙන හැකියාව වැනි කරුණු ස්මිත් ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ මීළඟ ටෙස්ට් නායකත්වය තෝරා ගැනීම සඳහා සලකා බලන ප්‍රධාන සුදුසුකම් වේ. 

ඒ සියල්ල බැලූ විට අපට පෙන්නේනේ ඔවුන් සතු හොඳම තේරීම ක්වින්ටන් ඩි කොක් වුවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක වන ස්මිත් පවසන පරිදි ඩි කොක් ඔවුන්ගේ මීළඟ ටෙස්ට් නායකයා නොවනු ඇත. එසේ නම් ඒ කවුරුන් වෙයිද? ටෙම්බා බවුමා, එයිඩ්න් මාක්‍රම්, රාසී වැන්ඩර් ඩූසේන් හෝ නොමැති නම් පසුගිය ජනවාරියේ දී නායකත්වයෙන් ඉවත් වූ ෆෆ් ඩු ප්ලේසි ද යන්න මුළු ලොවම අවධානයෙන් සිටියි. 

එය කෙසේ වුවත් ලෝක ටෙස්ට් ක්‍රිකට් කැලැන්ඩරයට අනුව පැවැත්වීමට තිබෙන මීළඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි අතර දකුණු අප්‍රිකානුවන් හට තරගාවලියක් තිබෙන්නේ මේ වසරේ ජූලි සහ අගෝස්තු යන මාසයන් වලදී යි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ කොදෙව් දූපත් තුළයි. කෙසේ නමුත් මේ දැනට පවතින ලෝක තත්වය අනුව එම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<