ටෙස්ට් සහ එක්දින පිටිය වර්ණවත් කළ රෝයි ඩයස්

480

1979 වසරේ දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ ICC කුසලානය දිනා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගත් විශාල ජයග්‍රහණයකි.

එම තරගාවලියේ දී දුලිප් මෙන්ඩිස් තරග 4ක් තුළ දී ලකුණු 221ක් ලබා ගන්නා විට එම අවදියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර එක්දින තරගයක් පවා ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකු තරග 4ක් තුළ ලකුණු 214ක් ලබාගත්තේ අර්ධ ශතක 2ක් ද සමඟිනි. එම අවදියේ ඔහු එතරම් ප්‍රසිද්ධ පිතිකරුවෙකු නොවුන ද පසු

අනුර තෙන්නකෝන් ICC කුසලානය සමඟ (gettyimages)

කලෙක ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා රැසක් තැබූ මෙම පිතිකරුවා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකු බවට පත්වූයේ ද ඔහු සතු වූ අපූරු දක්ෂතාවයන් නිසාමය. ඔහු නමින් රෝයි ඩයස්.

 

 

 

 

ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ලකුණු මැෂිම – පැතුම් නිස්සංක

මෑත කාලයේ ලද පරාජිත තරගාවලි අතරට නවසීලන්තය සමඟ ….

රෝයි ඩයස්ගේ එක්දින දිවියේ දස්කම්

1979-1987 කාල සීමාව තුළ එක්දින පිටියේ රැඳී සිටි රෝයි ඩයස් එම කාල සමය තුළ ඉනිම් 55ක දී ලකුණු 1573ක් ලබාගත්තේ එම අවදියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ බොහෝ එක්දින තරගවල දී තීරණාත්මක සාධකයක් වෙමිනි.

රෝයිගේ එක්දින දිවියේ ආරම්භය

1979 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව මංගල එක්දින තරගය ක්‍රීඩා කළ රෝයි එම තරගයේ දී ලකුණු 25කට දැවී ගිය ද, ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අගනා ලකුණු 50ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලබාගත් මංගල එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය සඳහා දායක වූයේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දිගු ගමනක යෑමේ පෙරනිමිති මතු කරමිනි.

රෝයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නැතුවම බැරි පිතිකරුවෙකු බවට පත්වූ ආකාරය

1979 වසරෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ජාත්‍යන්තර එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ 1982 වසරේ දී ය. එහි දී මව්බිමේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග දෙකක එක්දින තරගාවලියකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව පාකිස්තානයේ දී සහ ඉන්දියාවේ දී පැවති තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලි දෙකකට ක්‍රීඩා කළේය.

එහි දී පකිස්තානු තරගාවලියේ දී තරග 3 තුළ ලකුණු 169ක් ලබාගත් රෝයි ඉන්දියානු තරගාවලියේ දී තරග 3ක් තුළ ලකුණු 262ක් ලබාගත්තේ ශතක දෙකක් ද සමඟිනි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෝයි එම අවදියේ දී දැක්වූ දස්කම් නිසාම රෝයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලම පිතිකරුවෙකු බවට පත්විය.

රෝයිගේ අමතක නොවන එක්දින ඉනිම්

ජාත්‍යන්තර එක්දින තරගවල දී ශතක දෙකක් සහ අර්ධ ශතක 11ක් ලබාගත් රෝයි එහි දී ක්‍රීඩා කළ සමහර ඉනිම් කිසිදා අමතක නොවන සුපිරිම ඉනිම් විය.

  1. පකිස්තානයට එරෙහිව -81(59)
    1982 වසරේ දී පකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේ දී පන්දුවාර 40කින් ලකුණු 240ක් හඹා යාමට සිදු වූ අවස්ථාවේ රෝයි හතරේ පහර 12ක් සමඟින් පන්දු 59කින් වේගවත් ලකුණු 81ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.
  2. ඉන්දියාවට එරෙහිව -102(114)
    1982 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේ දී පන්දු 114ක් තුළ හතරේ පහර 8ක් සමඟින් රෝයි ලබා ගත් ලකුණු 102 ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක ලැබූ මුල්ම ශතකය විය.
  3. ඉන්දියාවට එරෙහිව-121(144)
    1982 වසරේ දී ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි එක්දින තරගයේ දී පන්දු 144ක් තුළ හතරේ පහර 11ක් සමඟින් රෝයි ලබාගත් ලකුණු 121ක 1994 වසරේ දී සනත් ජයසූරිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140ක් ලබා ගන්නා තුරුම ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයක වාර්තා කළ ඉහළම ඉනිම බවට පත්ව තිබුණි.
  4. නවසීලන්තයට එරෙහිව-64(101)*
    1983 ලෝක කුසලාන තරගාවලියේ දී රෝයි ඩයස් නවසීලන්තයට එරෙහිව පන්දු 101කින් නොදැවී ලබා ගත් ලකුණු 64 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ ඉනිමක් බවට පත්විය.
  5. පකිස්තානයට එරෙහිව-57(95)*
    1984 ආසියානු කුසලාන තරගාවලියේ දී පකිස්තානයට එරෙහිව පන්දු 95කින් රෝයි නොදැවී ලබාගත් ලකුණු 57 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.
  6. කොදෙව්වන්ට එරෙහිව-80(109)
    1985 වසරේ පැවති බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ දී ප්‍රබල කොදෙව් පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 180න් 80ක්ම ලබාගත් රෝයි එදා දියත් කළේ සුපිරිම ඉනිමකි.
  7. රෝයි 1984/85 බෙන්සන් සහ හෙජස් තරගාවලියේ දී (gettyimages)

    ඉන්දියාවට එරෙහිව -80 (67)
    1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව SSC පිටියේ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 67ක දී රෝයි ලබාගත් ලකුණු 80 ප්‍රවේගකාරී ඉනිමක් විය.

රෝයිගේ වාර්තාගත අවසන් එක්දින ඉනිම

රෝයි සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළේ 1987 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවය. එහි දී ලකුණු 80ක් ලබාගත් රෝයිගේ එම ඉනිම වාර්තා ගත ඉනිමක් බවට පත්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු සිය එක්දින දිවියේ අවසන් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය එය වීම නිසාය.

ඔහු එක්දින තරග වල දී පන්දුවෙන් ද දස්කම් දැක්වූ අවස්ථා නැතුවාම නොවේ

රෝයි එක්දින තරගවල දී ලබාගත් කඩුලු 3ම 1985 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් පිටියේ දී ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු බිමේ දී ලබාගත් මුල්ම එක්දින තරග ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙමිනි.

රෝයි ඩයස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දස්කම්

1982-1987 කාල සීමාව තුළ ටෙස්ට් පිටියේ රැඳී සිටි රෝයි ඩයස් නම් ක්‍රීඩකයා එම කාල සමය තුළ ඉනිම් 36ක දී ලකුණු 1285ක් ලබා ගත්තේ එම අවදියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටි විශ්වාසනීයම පිතිකරුවෙකු බවට පත්වෙමිනි.

රෝයිගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ආරම්භය

1982 වසරේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති මංගල ටෙස්ට් තරගයේ දී මුල් ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය රෝයි දෙවන ඉනිමේ දී ලකුණු 77ක් ලබා ගත්තේය. නමුත් එහි දී රෝයි ටෙස්ට් තරගයක මුලින්ම ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසින් අමිහිරි ශ්‍රී ලංකා වාර්තාවකට ද හිමිකම් කීම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි.

රෝයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නැතිවම බැරි පිතිකරුවෙකු බවට පත්වූ ආකාරය

1982 වසරේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීම සඳහා පකිස්තානයට ගිය අවස්ථාවේ පිත්තෙන් සුපිරිම දස්කම් දැක්වූ රෝයි එහි දී ඉනිම් 6න් 3ක දී 53,98ක් සහ 109ක් ලබා ගනිමින් ඉහළම දස්කම් දැක්වූයේ ප්‍රබල පකිස්තානු පන්දු යවන්නන් ඉදිරියේය.

එලෙස සුපිරි දස්කම් දැක්වූ පකිස්තානු සංචාරයෙන් අනතුරුව ඉන්දියාව සමඟ චෙපොක් පිටියේ දී පැවති එකම ටෙස්ට් තරගයේ දී නැවතත් දස්කම් අතරට පිවිසි රෝයි එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට උරදෙමින් ඉනිම් දෙකේ දී පිළිවෙළින් ලකුණු 60ක් සහ 97ක් ලබා ගත්තේය. එලෙස එම අවදියේ රෝයි දැක්වූ දස්කම් නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ප්‍රබලයෙකු බවට පත්වීමට රෝයිට හැකි විය.

රෝයිගේ අමතක නොවන ටෙස්ට් ඉනිම්

ටෙස්ට්  තරගවල දී ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් ලබා ගත් රෝයි එහි දී ක්‍රීඩා කළ සමහර ඉනිම් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසය තුළ අමරණීය ඉනිම් බවට පත්විය.

  1. පකිස්තානයට එරෙහිව-98(177)
    1982 වසරේ පකිස්තානයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේ දී හතරේ පහර 15ක් සමඟින් රෝයි ලබාගත් මෙම ලකුණු 98 අමතක නොවන ඉනිමක් වන්නේ ශතකය අභියස දී ම දැවී ගිය මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස ඔහු ඉතිහාසයට එක්වීමය.
  2. පකිස්තානයට එරෙහිව -109(179)
    1982 පකිස්තානු සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඉම්රාන් ඛාන් 58/8 ලෙස කඩුලු ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව අන්ත අසරණ කළ අවස්ථාවක ක්‍රියාත්මක වූ රෝයි පන්දු 179කින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේ ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල ශතකය ලබා ගනිමිනි.
  3. ඉන්දියාවට එරෙහිව-97
    1982 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව චෙපොක් පිටියේ දී පැවති ටෙස්ට් තරගයේ දී හතරේ පහර 18ක් සමඟින් රෝයි ලබා ගත් ලකුණු 97 සැබවින්ම ප්‍රවේගකාරී ඉනිමක් වූ අතර එදා ඔහු ඉන්දියානු පන්දු යවන්නන්ට පහර දුන්නේ කිසිදු ගරුසරුවකින් තොරවය.
  4. නවසීලන්තයට එරෙහිව-108(215)
    1984 වසරේ දී නවසීලන්තයට එරෙහිව SSC පිටියේ දී හතරේ පහර 18ක් සමඟින් ලැබූ මෙම ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙකු මව්බිමේ දී ටෙස්ට් ඉනිමක ලැබූ මුල්ම ශතකය විය.
  5. ඉන්දියාවට එරෙහිව-95
    1985 වසරේ දී පී සරා ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාව ලැබූ මංගල ටෙස්ට් ජයග්‍රහණය සඳහා පිත්තෙන් ඉහළම දායකත්වයක් ලබා දුන් රෝයි එහි දී පළමු ඉනිමේ දී ලකුණු 95ක් සහ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේය.
  6. ඉන්දියාවට එරෙහිව-106
    1985 වසරේ දී ඉන්දියාවට එරෙහිව අස්ගිරියේ දී පැවති මෙම ටෙස්ට් තරගයේ දී පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් රෝයි ලබාගත් ලකුණු 106ක ඉනිම කොතරම් දැකුම්කළු ඉනිමක් ද කිවහොත් එම ඉනිමේ දී ඔහු එල්ල කල ඇතැම් ඩ්‍රයිව් පහරවල් සුනිල් ගවස්කාර්ගේ පවා පැසසුමට ලක්විය.

සුවිශේෂී කරුණු

1) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ටෙස්ට් මෙන්ම එක්දින ඉනිම් ගණනක දී ලකුණු 1000 සම්පූර්ණ කිරීමේ ගෞරවය රෝයි ඩයස්ට හිමිවේ.

2) පිට පිටම එක්දින තරග දෙකක දී ශතක ලබාගත් ලොව මුල්ම පිතිකරුවා බවට පත්වූයේද රෝයි ඩයස් නම් මෙම සුපිරි පිතිකරුවාය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<