ශ්‍රී ලංකා රග්බි ලෝලීන්ට සුබ ආරංචියක්!

575
Air Force Rugby

වසරක විරාමයකින් පසුව ශ්‍රී ලංකා රග්බි පිටියේ කටයුතු නැවතත් ආරම්භ කරන්නට කටයුතු සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ CH&FC හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන සුහද රග්බි තරගාවලියක් සමඟිනුයි. මෙම තරගාවලියට සුහද රග්බි තරග දෙකක් ඇතුළත්.

CH&FC හා ගුවන් හමුදා කණ්ඩායම අතර පළමු සුහද රග්බි තරගය එළඹෙන අගෝස්තු 13 වැනිදා කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දෙවැනි තරගය අගෝස්තු 20 වැනිදා රත්මලානේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

අවසන් වරට ශ්‍රී ලංකාව තුළ රග්බි තරගයක් ක්‍රීඩා කළේ 2020 වසරේ මාර්තු මාසයේ දී වීම විශේෂත්වයක්. COVID-19 වසංගත තත්වය වඩා දරුණු වීමත් සමඟ 2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අතරමග නවතා දැමුණු අතර එතැන් පටන් දිවයින තුළ කිසිදු රග්බි තරගයක් ක්‍රියාත්මක වුණේ නැහැ. 

තවත් ක්‍රීඩා පුවත්: 

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය නැවතත් රග්බි තරග ආරම්භ කිරීමට උත්සාහ ගත්තත් එම උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. කෙසේ වෙතත් CH&FC හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මේ උත්සාහයත් සමඟින් නවතා දැමුණු රග්බි ක්‍රීඩාව නැවතත් ආරම්භ වීම ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටත් ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. 

“අපිට ක්‍රීඩාව නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වුනා. ඒක තමයි අපි මේ තරගය සංවිධානය කිරීමට හේතුව. අපේ ඉලක්කය තමයි නැවතත් ක්‍රීඩාව ආරම්භ කළ හැකි බවට විශ්වාසයක් ඇති කරන එක. CH&FC හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඒකට මූලිකත්වය ගන්නවා”, යයි CH&FC බලධාරියෙකු සඳහන් කර තිබුණා.

තරගාවලියට එක්වන සියලු ක්‍රීඩකයින් මේ වන විට ජෛව ආරක්‍ෂිත බුබුළක සිටින අතර ඔවුන් 20 වැනිදා දක්වාම එම බුබුළේ රැඳී සිටීමට නියමිතයි. 

තරගාවලි සැලැස්ම

  • පළමු අදියර –  2021 අගෝස්තු 13 – සවස 6.00  – මාලිගාපිටිය ක්‍රීඩාංගණය කුරුණෑගල
  • දෙවැනි අදියර –  2021 අගෝස්තු 20 – සවස 6.00  – රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණය 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<