ඉන්දීය සුපිරි යෞවනයා වාර්තා පොත් අලුත් කරයි

ඉන්දීය සුපිරි යෞවනයා වාර්තා පොත් අලුත් කරයි

644
Shubman Gill

නවසීලන්තයට එරෙහිව ඊයේ (19) ලබා ගත් ලකුණු 208ත් සමඟ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දීය පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු ගණන වාර්තා කිරීමට Shubman Gill සමත් වුනා.

මීට පෙර නවසීලන්තයට එරෙහිව ඉන්දීය පිතිකරුවෙකු ලබා ගත් වැඩිම එක්දින ඉනිම ලෙස සටහන් වුනේ සුපිරි පිතිකරු Sachin Tendulkar 1999 දී ලබා ගත් ලකුණු 186යි.

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබා ගත් එම ද්විත්ව ශතකයත් සමඟ Gill එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වූ අතර එය වාර්තා කරන විට ඔහුගේ වයස සටහන් වුනේ අවුරුදු 23යි දින 132ක් ලෙසයි.

මීට පෙර ද්විත්ව ශතකයක් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා වූයේ ඉන්දීය ක්‍රීඩක Ishan Kishan වන අතර ඔහු බංග්ලාදේශයට එරෙහිව මෙම වසරේ ලකුණු 210ක් ලබා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 24යි දින 145ක් ලෙස දැක්වුණා.

එම ඉනිමත් සමඟ Gill එක්දින ලකුණු 1000 සීමාව පසු කර ගිය අතර ඔහුට එම සීමාව පසු කිරීමට ඉනිම් 19ක් වැයව තිබුණා. ඒ සමඟින් එක්දින ලකුණු 1000 සීමාව පසු කළ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස Imam-ul-Haq සම කිරීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.

එමෙන්ම අවම එක්දින ඉනිම් ගණනකින් ලකුණු 1000 පසු කළ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වීමට ද ඔහුට හැකි වුනා.

එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු 1000 ලබා ගත් ක්‍රීඩකයා පාකිස්තාන ක්‍රීඩක Fakhar Zaman වන අතර ඔහු එම කඩඉම පසු කිරීමට වැය කර ඇත්තේ ඉනිම් 18ක් පමණයි.

ඉන්දියාව ඊයේ (18) පැවති තරගයේ දී පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 349ක් වන අතර එය ද්විත්ව ශතකයක් වාර්තා වූ ඉනිමක කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

මීට පෙර ද්විත්ව ශතකයක් ලබා ගත් එක්දින ඉනිමක කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු ගණන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 372 වන අතර සුපිරි ක්‍රීඩක Chris Gayle එම තරගයේ දී ලකුණු 215ක් ලබා ගත්තා.

එමෙන්ම එක් පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් ලබා ගත් ඉනිමක වෙනත් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ ලබා නොගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර නවසීලන්ත පිතිකරු Martin Guptill කොදෙව්වන්ට එරෙහිව ලකුණු 237ක් නොදැවී ලබා ගත් අවස්ථාවේ කණ්ඩායමේ අනෙක් වැඩිම ලකුණු ලාභියා වුනේ ලකුණු 42ක් ලබා ගත් Ross Taylorයි.

එමෙන්ම මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා සහ දෙවැනි වැඩිම ලකුණු ලාභියා අතර පරතරය ලකුණු 173ක් වන අතර එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර තෙවනුවට වාර්තා වූ වැඩිම ලකුණු පරතරය වීම විශේෂත්වයක්.

එක්දින තරගය වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර වැඩිම පරතරය ලකුණු 198ක් වන අතර 2014 වසරේ Rohit Sharma ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 264ක් ලබා ගත් ඉනිමේ ඉන්දීය කණ්ඩායමේ අනෙක් වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli ලබා ගෙන තිබුණේ ලකුණු 66ක් පමණයි.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<