ගෙවුණු දවස සැප්තැම්බර් 10 – චන්දි ආසියානු කුසලානයට නෑ

127

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

සෙබස්තියන් ක්‍රීඩකයෝ අවසන් මහා සටනට

17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ (10) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්විය. එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙම ක්‍රිකට් තරගය පසුගිය 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ඊයේ (10) දිනය දක්වා තරගය කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කළේය. මග්ගොන සරේ ගම්මාන පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේය.

සම්පූර්ණ වාර්තාව: මොරටු අභිමානය රැකගෙන සාන්ත සෙබස්තියන් අවසන් සටනට

SLC ගිණුම් අංශයට සීල් තබයි

SLCඇමරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් හසුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට ඊයේ (10) සීල් තබා ඇතැයි වාර්තා වෙනවා.

ලබන මාසයේ දී ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ විකාශන අයිතිය ලබා ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ විදේශීය ගිණුමකට බැර කර ගැනීමට දැරූ උත්සහයක් සම්බන්ධයෙන් මේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත ඒ පිළිබදව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙන බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට සීල් තබයි

චන්දිමාල්ගේ ආබාධය ආසියානු කුසලානයට හරහට හිටී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය  සඳහා සහභාගී වීමට සුදුසු තත්වයක නොසිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව සිටියේය.

සම්පූර්ණ වාර්තාව: චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

දිනයක අවසානය