පාකිස්තානය හමුවේ දකුණු අප්‍රිකාවට දැවැන්ත පරාජයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය 2021

136
PCB

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි දී නිමා වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 95ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (08) දින සමත් විය. එම ජයත් සමඟ දෙරට අතර පැවති තරග 2කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ද Babar Azamගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. 

මෙම තරගයේ පස්වැනි දිනය වූ අද (08) දින තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 127ක් රැස්කර ගෙන සිටි දකුණු අප්‍රිකාවට ඊයේ (07) දිනයේ දී සිය දෙවැනි ඉනිමේ ලකුණු සටහන සඳහා එක්කාසු කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 147ක් පමණි. එහිදී සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට Aiden Markram සමත් වූ අතර ඔහු හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් මේ ලකුණු 108 ලබා ගත්තේ පන්දු 243ක් තුළය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 370ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට Hasan Ali සහ Shaheen Shah Afridiගේ දක්ෂ පන්දු යැවීම හමුවේ වැඩි දස්කම් දැක්වීමට නොහැකි වුනු අතර ඒ නිසාවෙන් ඔවුන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 274ක් පමණි. 

දකුණු අප්‍රිකානු මැදපෙළ සවිමත් කළ Temba Bavuma සහ Rassie van der Dussen පිළිවෙළින් ලකුණු 61ක් සහ ලකුණු 48ක් රැස්කර ගනිමින් තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගැනීමට වෑයම් කළත් පාකිස්තානු වේගපන්දු යවන්නන් හමුවේ එය එතරම්ම ලේසි පහසු කාර්යයක් වූයේ නැත. 

Van der Dussen සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සම්බන්ධතාවක් ද,  Bavuma (61) සමඟ එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සම්බන්ධතාවක් ද ගොඩනැගීමට Markram සමත් වුවද ඔවුන්ට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පරාජය වළක්වා ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැත. 

දකුණතින් වේගපන්දු යවන Ali ලකුණු 60කට කඩුලු 5ක් ද, Shaheen Shah Afridi ලකුණු 51 කට කඩුලු 4ක් ද බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පළමු ඉනිමේ දී දවාගත් කඩුලු 5ත් සමග ඉනිම් දෙකේ දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ Ali තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය. Ali මෙම තරගයේ දී කඩුලු 10 අවස්ථාවක් සාර්ථක කරගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කරන ලද්දේ සිය පළමු කඩුලු 10 අවස්ථාව ද සටහන් කරගෙනය. 

පාකිස්තාන පළමු ඉනිම – 272 (114.3):Faheem Ashraf 78*, Babar Azam 77, Fawad Alam 45, Anrich Nortje 5/56, Keshav Maharaj 3/90.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 201 (65.4):Temba Bavuma 44, Hasan Ali 5/54. 

පාකිස්තාන දෙවැනි ඉනිම – 298 (102):Mohammad Rizwan 115*, Nauman Ali 45, George Linde 5/64, Keshav Maharaj 3/118. 

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම – 274 (91.4):Aiden Markram 108, Temba Bavuma 61, Rassie van der Dussen 48, Hasan Ali 5/60, Shaheen Shah Afridi 4/51. 

  • තරගයේ වීරයා – Hasan Ali (පාකිස්තානය) 
  • තරගාවලියේ වීරයා – Mohammad Rizwan (පාකිස්තානය) 

පාකිස්තානය හිමිකර ගත් මේ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමඟින් ICC ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට අවස්ථාව ලැබුනු අතර දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාවට එක් ස්ථානයක් පසුබැසීමට සිදුවිය. 

ඒ අනුව එම නව කණ්ඩායම් වර්ගීකරණයේ හයවන සහ හත්වන ස්ථානයන් හිමි වන්නේ දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාවටයි. 

තවද ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<