ගාල්ලේ වීරයාගෙන් පන්දු රකින්නන්ට පැසසුම්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

234
Mohammed Amir

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (07) පැවති තරගයේ දී තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට Galle Gladiators සමත් වුනා. ඒ Colombo Kings කඩුලු 8කින් පරාජය කරමින්.

Colombo Kings ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Amir සමත්වූයේ තරගාවලිය තුල එම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්. තරගයේ වීරයා වූයේ ද Mohammed Amir ය. තරගයෙන් අනතුරුව ඔහු සිය කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා තිබුණා.

“අන්තිම තරගය මම හිතන්නේ තියුණු තරගයක් වුනා. අපිට තරගය අවසන් කිරීමේ යම් යම් ගැටලු තිබුණා. අද අපි ඒක කළා කියලා මම හිතනවා. ඒ වගේම අද විශේෂම දේ වුනේ අපේ පිතිකරුවන් සාර්ථක වුන එක. විශේෂයෙන් භානුක සහ Azam Khan. විස්සයි විස්ස තරගවල මම විශ්වාස කරන දෙයක් තමයි යම් momentum එකක් තියෙන්නෙ ඕනේ කියන එක. කලින් තරගවල දී අපි හොඳින් ක්‍රීඩා කළා. ඒත් අපිට තරගය සාර්ථකව අවසන් කරන්න බැරි වුනා. මම හිතනවා අපි හරිම වෙලාවේ තරගය ජයග්‍රහණය කරන්න සමත් වුනා කියලා. 

මෙවර තරගාවලිය තුල කණ්ඩායම් දක්නට ලැබුණු දුර්වල පන්දු රැකීම මෙම තරගයේ දී Galle Gladiators වෙතින් දිස්වූයේ නැත. ඒ පිළිබඳව Mohammed Amir පන්දු යවන්නන්ට ස්තුති කර සිටියේය.

“අද අපේ පන්දු රැකීමත් හොඳ මට්ටමක තිබුණා. ක්‍රීඩකයන් හැමෝම ඔවුන්ට ආව සියලුම උඩපන්දු රැකගත්තා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒකේ ගෞරවය යන්න ඕනේ පන්දු රකින්නන්ට. කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට මම හිතනවා මගේ වගකීම කණ්ඩායම මෙහෙයවන එක කියලා.”

තවත් ක්‍රිකට් පුවත්:

Galle Gladiators කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දක්වමින් Mohammed Amir පවසා සිටියේ ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බවත්, නිවැරදි මඟපෙන්වීමක් සමඟින් ඔවුන් ඉදිරියේ දී ප්‍රබල ක්‍රීඩකයන් බවට පත්වනු ඇති බවයි.

“මේ කණ්ඩායම තාමත් තරුණ කණ්ඩායමක්. ඔවුන්ට යම් කාලයක් අවශ්‍යයි. ගොඩක් ක්‍රීඩකයන් මේ වගේ තරගාවලියක ක්‍රීඩා කරන්නේ පළමු වතාවට. මේ වගේ තරගාවලියක් ඔවුන්ට ඉතාමත් හොඳ වේදිකාවක්. ඒ නිසා ඔවුන්ට තියන පීඩනය ඉතාමත් වැඩියි. කලින් තරග දෙක තුන තුල දී අපි දැක්කා ඔවුන් ඉතාමත් හොඳින් දක්ෂතා අතරට එනවා. ඔවුන් ගොඩක් මහන්සි වෙනවා පුහුණුවීම්වල දී. ඒක ඉතාමත් හොඳ දෙයක් කියලා මම දකිනවා. 

“මේ තරගයේදී අපි ලබාගත්ත momentum එක ඊළඟ තරගවලටත් යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා” Amir පවසා තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (08) කිසිදු තරගයක් නොපැවැත්වෙන අතර හෙට Dambulla Viiking සහ Galle Gladiators අතර තරගය සහ Jaffna Stallions සහ Kandy Tuskers අතර තරගය ද පැවැත්වීමට නියමිතව ඇත. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<