අළු ගසා දමමින් නැඟිටින නායක Dhoniගේ කහ හමුදාව!

269

පසුගිය IPL තරග වාරයේ නිමාවත් සමඟම ක්‍රිකට් රසික සිත් තුල පැන නැඟුණු ප්‍රශ්නාර්ථයක් වූයේ M.S.Dhoni හට තවත් කොපමණ කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත විය හැකි ද යන්නයි. 

ඊට නිසි පිළිතුරක් ලබා දෙමින් Dhoni පවසා සිටියේ නිසැකවම මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසානය නොවන බවත් එළඹෙන වසරේ දී (2021) ක්‍රියාත්මක වීමට නියමිත තරග වාරය ජයග්‍රාහී සටහනකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

එනම් IPL තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් කිහිපය අතරින් ඉහළින්ම වැජඹෙන Chennai Super Kings වෙත යලි කිරුළ හිමි කරදීමේ වැඩි බරපැන M.S.Dhoniගේ කර මත පැවරෙනුයේ ඔහුගේ නායකත්වය නිසාවෙන් පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද ඔහු ඉටු කරන භූමිකාව කණ්ඩායමේ සාර්ථකත්වය කෙරෙහි අතිශය තීරණාත්මක වන බැවිනි.

2020 අදියර CSK කණ්ඩායම හට අපේක්ෂා කළ තරම් සුබදායක නොවුනේ එදා මෙදා තුර ඔවුන් පෙන්නුම් කළ දැවැන්තම පසුබෑම සටහන් කරමින් වීම විශේෂත්වයකි.

ප්‍රථම වතාවට ප්‍රසාද ලකුණු සටහනේ හත්වැන්නා ලෙස තරගාවලිය අවසන් කළ Chennai ක්‍රීඩකයින් හට තරගාවලිය ආරම්භයේ පටන් අවසානය දක්වා අමිහිරි පරාජයන් ගොන්නකට මුහුණ දීමට සිදු වූයේ කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නාර්ථයන් රැසක් ඉතුරු කර තබමිනි.

CSK කණ්ඩායමේ කොඳුනාරටිය ලෙස සැලකෙන නායක Dhoni හට ද ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වීමට නොහැකි වීම වඩාත් කැපී පෙනුණේ ඔහුටම ආවේණික වූ ආක්‍රමණශීලී පිතිහරඹ රටාව දියත් කිරීමට ගත් සෑම උත්සහයක්ම ව්‍යර්ථව ගිය බැවිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

2020 අදියර පුරාවටම ක්‍රීඩා කළ තරග 14 තුල දී Dhoni රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 200ක් පමණි. එහි දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය  25ක් ලෙසත්, ප්‍රහාරාත්මක වේගය 116ක් ලෙසත් සටහන් වූ අතර එම දත්ත වාර්තාවන්ට අනුව 2017 වර්ෂයෙන් පසුව පිතිකරුවෙකු ලෙසින් ඔහු IPL දිවියේ මුහුණ දුන් අසාර්ථකම තරග වාරය ලෙස මෙය හැඳින්වා දිය හැක.

නමුත් මෙවර තරගාවලියේ දී ඔහු තමන් සතු අත්දැකීම් සමූදායන් සියල්ලම උපයෝගී කරගනිමින් නැවතත් CSK කණ්ඩායම නිවැරදි මාවත වෙත  රැගෙන ඒමට අවශ්‍ය සැලසුම් දියත් කරනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරන අතර මාස 5ක පමණ කෙටි කාලසීමාවකට පමණක් තරග බිමෙන් ඉවත්ව සිටීම ඔහු ගොඩනඟා ගත් රිද්මය අඩාල කිරීමට හේතුවක් නොවනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.

තවද මෙවර සංචිතය පසුගිය වසරට සාපේක්ෂව වඩාත් සමබර එකක් වන බැවින් පිතිකරුවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරිය නිසියාකාරව ඉටු කරනු ඇතැයි CSK කළමණාකාරීත්වය ද බලාපොරොත්තුවෙන් පසු වේ.

එදා මෙදාතුර Dhoniගේ නමින් ලියැවී ඇති IPL වාර්තා

  • M.S.Dhoni මේ දක්වා IPL තරග 204කට සිය දායකත්වය ලබා දී ඇති අතර එය වාර්තා පොත් අතරට එකතු වන්නේ IPL ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙසිනි.
  • RCB කණ්ඩායමට එරෙහිව ක්‍රීඩකයෙකු විසින් රැස් කර ඇති වැඩිම ලකුණු එකතුවේ වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුයි. RCB කණ්ඩායම සමඟ පැවති තරගයන්හීදි ඔවුන්ට එරෙහිව ලකුණු 832ක් වාර්තා කිරීමට Dhoni සමත්ව තිබේ.
  • සාර්ථක තරග අවසන් කරන්නෙකු මෙන්ම ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙසින් ද සිය සන්නාමය ඉදිරියට රැගෙන ආ Dhoni IPL තරගාවලිය තුල එල්ල කොට ඇති මුළු හයේ පහර ගණන ලෙස සටහන් වන්නේ 209කි. ඒ අනුව තරගාවලි ඉතිහාසයේ වැඩිම පහර සංඛ්‍යාවක් එල්ල කළ ඉන්දියානුවන් අතරින් පළමු තැනත් සමස්ත සටහනේ තෙවැනි තැනත් සිය නමින් වෙන්කොට ගැනීමට ඔහුට හැකි විය.
  • දක්ෂ නියමුවෙකු ලෙසින් සිය නායකත්වයේ වගකීම් අකුරටම ඉටු කළ Dhoni වාර්තා පොත් අළුත් කරන්නේ IPL තරග 100ක් ජයග්‍රහණය කිරීමට උර දුන් පළමු නායකයා ලෙසිනි.
  • අවසන් පන්දුවාර කිහිපය තුල දී (17-20) වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ ගෞරවය හිමිවන්නේ ද Dhoni හටයි. – හයේ පහර 141යි.
  • 06.04.2013 සිට 14.04.2019 දක්වා කාලසීමාව තුල අඛණ්ඩව තරග 85කට නායකත්වය ලබා දෙමින් Dhoni විසින් පිහිටුවා ඇති වාර්තාව දෙවැනි වන්නේ Gautham Gambhir නමින් ලියැවී ඇති තරග 107ක වාර්තාවට පමණි.

2021 IPL තරගාවලියේ ආරම්භයත් සමඟම Dhoni විසින් අළුත් කරනු ඇතැයි අපේක්ෂා කරන වාර්තාවන්

  • කඩුල්ල පිටුපස දවා ගැනීම් 150 කඩඉම වෙත ළඟා වීමට Dhoni හට තවත් අවශ්‍ය වන්නේ දවා ගැනීම් වාර දෙකක් පමණි. එම ඉලක්කය පසුකොට යාමට Dhoni සමත් වුවහොත් තරගාවලි ඉතිහාසයෙහි එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු කඩුලු රකින්නා බවට ඔහු පත්වෙනු ඇත.
  • T20 ලකුණු 7000යේ සීමාව පසුකොට යාමට ඔහුට තවත් රැස්කර ගත යුතුව තිබෙන්නේ ලකුණු 179ක් පමණි.
  • මෙම තරගාවරය තුල හයේ පහර 14ක් සම්පූර්ණ කරගතහොත් CSK කණ්ඩායම වෙනුවෙන් ඔහු එල්ල කර ඇති මුළු හයේ පහර සංඛ්‍යාව 200 දක්වා ඉහළ යනු ඇත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<