ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහානර්ඝ නාමය මහානාම

kan

1472
Ross Kinnaird/Getty Images
 

මේ ලිපිය වෙනුවෙන් යම් පූර්විකාවක් අවශ්‍ය යැයි මා විශ්වාස කරමි. ThePapare.com වෙබ් අඩවිය වෙත මා ඔහු ගැන ලියන දෙවන ලිපිය මෙය වෙයි. ක්‍රීඩාවට  ළැදි සහ ක්‍රීඩාවට සම්බන්ධ පවුලක උපන් මට කුඩා අවධියේ දී ක්‍රීඩා පූර්වාදර්ශ පුද්ගල චරිත කිහිපයක් සිටි බව මතකය. 

ඒ පූර්වාදර්ශකයින් අතරින් අප කතානායක ක්‍රීඩකයාට ඉතිහාසය තුළ ලැබිය යුතු නියම ස්ථානය ලැබුණා දැයි මට අවංකවම කුකුසක් තිබේ. ඒ අයිතිය වෙනුවෙන් මම ලිපි එකක් දෙකක් නොව කිහිපයක් හෝ ලියන්නට සූදානමින් හිඳිමි.

1966 වසරේ මැයි 31 වැනිදා රාත්‍රියේ ඔහු උපත ලබන විට ඔහුගේ පියා සිටියේ කොළඹින් පිටතය. රාජකාරි කටයුත්තකට කොළඹින් බැහැර ගිය ඔහු කන්තලේ තානායමේ නවාතැන්ගෙන සිටිය ද, සිතින් ඔහු සිටියේ දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටින සිය බිරිඳ අසලය.

හිත තමුන්ට අවනත නොවූ මොහොතක  ආචාර්ය උපාලි මහානාමයන් වැව් බැම්ම ඔස්සේ ඔබ මොබ ඇවිද යන්නට වූයේ සිතේ තිබූ කනස්සල්ල මකා ගැනීමටය. 

ගණඳුර රජයන මොහොතක මෙසේ වැව් බැම්ම උඩ ඇවිද ගිය උපාලි මහානාමයන් වැව් බැම්මෙන් රූටා ගොස් වැව් ජලයට වැටුණ අතර කිහිපවතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව ජීවිතය බේරා ගැනීමට සමත් විය. හරියටම මේ සිද්ධියෙන් මොහොතක් ගතවන නිමේෂයේ ස්වර්ණා මහානාම මහත්මිය කොළඹ දී සිය දෙටු පුත්‍ර රත්නයට උපත ලබා දී තිබුණාය. මෙම දරුවාට රොෂාන් සිරිවර්ධන මහානාම ලෙස නම තැබුණේය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දරුවන් මෙන්ම කුඩා රොෂාන්ගේ හිත ඇදී ගියේ ක්‍රිකට් ක්‍රීඩාව දෙසටය. ඔහුට ක්‍රීඩාව වෙනුවෙන් රැයක් දවාලක් තිබුණේ නැත. කෙදිනක හෝ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සිහිනය ඔහු කෙරෙහි නොඅඩුව පැවතුණ අතර පවුල් පසුබිමෙන් ඒ වෙනුවෙන් කුඩා රොෂාන්ට මනා පිටිවහලක් ලැබුණි.

>> අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

මා පිය දෙපාර්ශවයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට මනා උත්තේජනයක් රොෂාන්ට ලැබුණ අතර තමාට වඩා වසර කිහිපයක් වැඩිමහල් සොයුරෙකු සිටීමත් ඔහුගේ කාර්‍ය තවත් පහසු කළේය. රොෂාන්ගේ වැඩිමහල් සොයුරු දේවක ඉතා ඉහළ සහජ හැකියාවක් පෙන්නුම් කළ ද, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්නට තරමේ කැමැත්තකින් පසුවූයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ ඇල්ම කෙසේ ද යත් වරක් කුඩා රොෂාන් නාන කාමරය තුළ ක්‍රිකට් අනුකරණය කරන්නට ගොස් ලිස්සා ගොස් දකුණු ඇස ළඟ තුවාල කරගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ඇලුම් කළේ ද යත් කුඩා රොෂාන්ගේ නිදන කොට්ටය යට ක්‍රිකට් පිත්තට නවාතැන් දෙන්නට ඔහු කටයුතු කළේය. 

නෙල්සන් මෙන්ඩිස් මහතා යටතේ කොළඹ නාලන්දාවේ ක්‍රිකට් හැදෑරූ කුඩා රොෂාන් සවස් යාමයේ අසල්වැසි මිතුරන් සමඟ තමා උගත් දේ ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදෙව්වේය. 

කුඩා කාලයේ ඔහුට එසේ හමු වූ මිතුරන් අතර අරවින්ද ද සිල්වා නම් කුඩා දරුවෙකු විය. රත්මලානේ වීදි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඔවුන් දෙදෙනා පසුකලෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට යන මාවතේ කල්කටාවේ ඊඩන් උයනේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට උරදුන් ආකාරය එක්තරා රමණීය අන්දරයකි.

රොෂාන් සතුව ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතා කරන ඉහළම මට්ටමේ උපාංග තිබුණේය. වයස් මට්ටමේ ක්‍රිකට් තරගයකට යෑමට මත්තෙන් සෑමවිටම කුඩා අරවින්ද පැමිණ රොෂාන් සතුව තිබූ පිත්තක් ඉල්ලා ගෙන යන්නට පුරුදුව සිටියේය.

රොෂාන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ගමන බොහෝ විට අභියෝග සහ බාධා මැදින් ආ එකකි. නමුත් අභියෝගයක් පැමිණි සෑම විටෙකම ක්‍රීඩාවේ උත්තම ගතිගුණ රැකගන්නටත්, ඉන් එහා ගොස් මහත්මා ගතිය රැක ගන්නටත් සමත් වීම තුළින්ම තරුණ ක්‍රීඩකයින්ට ගත හැකි ආදර්ශ බොහෝ වෙයි.

නාලන්දාවේ පළමුපෙළ කණ්ඩායමට වයස අවුරුදු දාහතරේ දී තෝරාගැනුණු කුඩා රොෂාන්ට සිය පාසලේම ඇතැම් පිරිස්වලින් පැමිණියේ දැඩි විරෝධයකි. එම විරෝධය කෙතරම් උග්‍ර වූයේ ද යත් මහානාම නිවසට පැමිණෙන තර්ජනාත්මක දුරකතන ඇමතුම්වල ද සීමාවක් නොවීය. නමුත් ඒ සියල්ල යටපත් කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව තුළින් නාලන්දායත්, උපන් රටත් බැබළවීමට රොෂාන් සමත් විය.

ඉතාම කුඩා වයසේ දී ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වූ බ්ලූම්ෆීල්ඩ් හරහා සිය ක්‍රීඩාව ඔප මට්ටම් කරගැනීමට සමත් වූ රොෂාන් මහානාම වයස අවුරුදු පහළොව ඉක්මවන්නටත් පෙර පළමුපෙළ වරම් දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ළාබාලතම පළමුපෙළ ක්‍රීඩකයෙකු ලෙස වාර්තාවක් තබමිනි. 

>> සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

එම වසරේ දාහතර හැවිරිදි රොෂාන්ගේ දායකත්වය ලැබූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමරණීය සිහිවටනයක් විය.

1986 වසරේ සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී ටෙස්ට් වරම් දිනා ගත් රොෂාන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් දෙවන ටෙස්ට් තරග ජයට සිය දායකත්වය ලබා දුන්නේය. පාසල් මට්ටමෙන් හෝ ඉනිම ආරම්භ කර නොතිබූ ඔහූ කණ්ඩායම වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානමින් සිටියේය.

එසමයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයින්ට පිත්තත් පන්දුවත් එකසේ හුරුවී තිබූ අතර පන්දු යැවීම තමාගේ හැකියාවන් ගොන්නේ ඉදිරියෙන් තිබෙන්නක් නොවන බව රොෂාන් වැඩි කලක් යන්නට මත්තෙන් තේරුම් ගත්තේය. ශරීර යෝග්‍යතාව ඉහළින් තබා ගැනීමටත්, පන්දු රැකීමට විශේෂ අවධානයක් යොමු කිරීමටත් රොෂාන් වැඩි බරක් තැබුවේ ඒ නිසාය.

සැමවිටම තම පෞද්ගලික අභිමතාර්ථයන්වලට ඉහළින් කණ්ඩායම, රට ගැන සිතූ රොෂාන්ගේ දෛවය වෙනස් කරන සිදුවීමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාරගැනීමට තීරණය කිරීම හැඳින්විය හැකිය.

1994 වසරේ සාජා නුවර පැවති ඔස්ට්‍රල්- ඒෂියා තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට එවකට කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් තීරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ කටු ඔටුන්න රොෂාන්ගේ හිස මත පැටවුණි. රට වෙනුවෙන් නායකත්වයේ වගකීම ලබා ගත් රොෂාන්ගේ ක්‍රීඩා ජීවිතයේ පසුකලෙක ඇතිවූ බොහෝ හැලහැප්පීම්වලට මෙම සිදුවීම වස්තු බීජයක් විය.

1996 වසරේ වීල්ස් ලෝක කුසලානය දිනා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව ලෙස හැඳින්වීමේ වරදක් නැත. සත්කාරක ඉන්දියානුවන්ට එරෙහිව කල්කටාවේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ අගනා අර්ධ ශතකයක් වාර්තා කර ගත් රොෂාන් කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩ එන්නට සිය කුඩා කාලයේ මිතුරා අරවින්ද සමග මනා සබඳතාවයක් ගොඩ නැගුවේය. 

රොෂාන් 1997 වසරේ සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නට යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රොෂාන් ඒ වන විට සිය උපරිම දස්කම් අතර සිටියේ නැත. 

>> ‘දාදා’ නම් කල්කටාවේ කුමරාගේ ක්‍රිකට් ආගමනය

ඉන්දියානුවන් සමඟ ප්‍රේමදාස පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයට රොෂාන් නම් කිරීමත් සමඟ එවකට තේරීම් කමිටුවේ සිටි සාමාජිකයෙකු අපූරු අභියෝගයක් ගෙන ආවේය. මෙම තරගයේ දී රොෂාන් ලකුණු දහය ඉක්මවා රැස් කළහොත් තමා කලිසම ගැලවීමට හෝ සූදානම් බවට ඔහු ප්‍රසිද්ධියේ අභියෝග කර තිබුණි.

ලකුණු දහයේ අභියෝගය කෙසේ වෙතත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන සිය සගයා වන සනත් ජයසූරිය සමඟ එක්ව ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් නවසීලන්තයේ මාර්ටින් ක්‍රෝ සහ ඇන්ඩෲ ජෝන්ස් තබා තිබූ වැඩිම ලකුණු සබඳතාවයේ ලෝක වාර්තාව බිඳ දැමීමට රොෂාන්ට හැකියාව ලැබුණි. රොෂාන්ගේ පිත්තෙන් අගනා ලකුණු 225ක් මේ වෙනුවෙන් ඉක්වී තිබුණි. පසුකලෙක මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අතින් මෙම ලකුණු වාර්තාව නැවත වතාවක් බිඳ වැටුණේය.

ආරම්භක පිතිකරුවෙකු ලෙස ප්‍රචලිත වුවත් සිය ක්‍රීඩා දිවිය අවසාන කාලයේ පිතිකරණ ලැයිස්තුවේ එහා මෙහා කිරීම් රොෂාන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කළේ යහපතක් නොවේ.

1999 අසාර්ථක ලෝක කුසලාන සංචාරයෙන් අනතුරුව බොහෝ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට කණ්ඩායමේ තැනක් අහිමිව ගිය අතර රොෂාන් ද තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයින් අතර විය. ඇතැම් විටෙක නායකත්වයේ වගකීම නැවත වරක් රොෂාන් වෙත පැවරෙන බවක් පෙන්නුම් කෙරුණ ද එය යථාර්ථයක් බවට පත්වූයේ නැත.

ශ්‍රී ලංකාව බිහි කළා වූ අති විශිෂ්ටතම පන්දු රකින්නා වුවද, නිසි ඇගයීමකින් තොරව කණ්ඩායම වෙනුවෙන් තමා සතු සියල්ල නිර්ලෝභීව ලබා දුන්නා වූ රොෂාන් මහානාම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙසින් මෙරටට ලබා දුන් කීර්තිය අතිමහත්ය.

ඇතැම් කරුණු සඳහා ලියුම්කරු විසින් රොෂාන් මහානාමයන්ගේ ස්වයංචරිතාපදානය Retired Hurt ග්‍රන්ථය ඇසුරු කරගන්නා ලදි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<