අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

24
World Cup Final Australia v Sri Lanka Lahore 1996 Aravinda de Silva reaches 100 66640-14A (Photo by Patrick Eagar/Patrick Eagar via Getty Images)

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි කරමින් තිබූ සමයයි.  සබ්සේ බඩා කිලාඩි ඉන්දියාවට කොයි තරම් දරුණු හිට් එකක් වුනා ද කියතොත් එක වැලට අක්ෂේ කුමාර් යොදා ගත් කිලාඩි පිකචර් කිහිපයක් බිහි විය. එහෙත් ඒ එකක්වත් ඔරිජිනල් සබ්සේ බඩා කිලාඩි තරම් හිට් වුනේ නැත.

ඉන්දියාවේ සබ්සේ බඩා කිලාඩිට වඩා දරුණු වෙමින් සනත් ජයසූරිය නම් ශ්‍රී ලාංකික සබ්සේ බඩා කිලාඩි ඉන්දියාවට මදි නොකියන්නට බැට දෙන්නට පටන් ගත්තේත් ඔය කාලයේ දී ම ය. පෑඩ් දෙක හැදුවේය. හෙල්මට් එක ඉස්සුවේය. ඉහෙන් කනෙන් දුං දාන්නට ඉන්දියන් පන්දුකරුවන්ට පහර දුන්නේය.

පෑඩ් නැතත් අපි ජයසූරිය අනුකරණය කළෙමු. රොෂාන් මහානාම පිත්තේ මිට සිඹින ආකාරය අනුකරණය කළෙමු. අරවින්ද ද සිල්වා පිත්ත කරේ තබාගෙන කරව කරවා පන්දු යවන්නන් දෙස යොමු කළ තුට්ටු දෙකේ බැල්ම අනුකරණය කළෙමු. මහේල ජයවර්ධන මෙන් හතරේ පහරක් ගැසූ විට කෙළින්ම අනෙක් අන්තයට දිව ගොස් සීමාව ලකුණු කළෙමු. 

අසංක ගුරුසිංහ ලෝක කුසලානයේ කළ අයුරින් ලිස්සා ගොස් පන්දු රකින්නට ගොස් දනිස් දෙකම ලෙලි යවා ගත් එවුන් ද අතරින් පතර සිටියෝය.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් අඩුම ක්‍රීඩකයා ඔහු වන්නට පුළුවන. ඔහුගේ උස යාන්තම් අඩි පහයි අඟල් නමයක් පමණ…

චමින්ද වාස් මෙන් අලියා ලෙමනේඩ් බෝතලයක් තබා එය ඉලක්ක කර පන්දු යැව්වෙමු. රොමේෂ් කළුවිතාරණ මෙන් පන්දුව කකුල් දෙක අස්සේ හංගා ගෙන ප්‍රතිවාදියා ස්ටම්ප් කරන්නට උත්සහ කළෙමු. මාවන් අතපත්තු මෙන් කට් පහරක් එල්ල කොට හිස වටා පිත්ත කැරකෙව්වෙමු. 

අර්ජුන රණතුංගයන් මෙන් ඇවිදිමින් ලකුණු සොරාගන්නට උත්සහ කළත්, එය වඩාත් අවදානම් සහගත වූ බැවින් ඉක්මනින්ම අතහැර දැම්මෙමු. එවැන්නක් කරන්නට පුළුවන් අර්ජුනට හෝ ජාවේඩ් මියැන්ඩෑඩ්ට විතරමය.

මා නොදන්නේ කී දෙනෙකු හෂාන් තිලකරත්න පන්දුවට පහර දෙන ආකාරයේ ඉරියව්වකින් පන්දුවට පහර දුන්නා ද කියා පමණි. අමුතුවෙන් කියන්නට ඕනෑ නැති වුනත් හෂාන්ට වහ වැටී සිටි කාන්තා ප්‍රේක්ෂකාගාරයට එය හොඳින් මතක ඇතිවාට සැක නැත.

ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය නම් සබ්සේ බඩා කිලාඩිගේ අඩි පාරේ යමින් බොහෝමයක් කිලාඩිලා බිහි වූ නමුත් ඔරිජිනල් සබ්සේ බඩා කිලාඩි තරම් ඉම්පැක්‍ට් එකක් පසුව ආ කිලාඩි පැටවුන්ගෙන් ලැබුණේ නැත.

පසුගිය දොහක රූපවාහිනිය ඉදිරිපිට බටහිර ඉන්දීය කොදෙව් – ඉන්දියා තරගය නරඹමින් සිටි අවස්ථාවක විස්තර විචාරක අට්ටාලයේ සිටි සංජේ මංජේකාර් නැවත වතාවක් ලංකාවේ සබ්සේ බඩා කිලාඩි ගැන මතකය නැවත අවදි කළා වගේ මතකය.

කොදෙව් කණ්ඩායමේ ෂැම්රොන් හෙට්මෙයර් ශතකයට ආසන්න වෙමින් සිටි අතර ඔහුගෙන් කිසිම කලබලයක් දකින්නට ලැබුණේ නැත. 

ලකුණු අනූ ගණන්වලදීත් මෙවැනි ශාන්තදාන්ත ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කරනවා මා දැක ඇති ක්‍රීඩකයින් අතරින් කෙනෙක් සනත් ජයසූරිය” 

මංජේකාර් කිව්වේය.

ඔහු කිව්වේ නැත්තේ ඉන්දියානු පන්දු යවන්නන් කී දෙනෙකුගේ රස්සාව ජයසූරිය අතින් අහිමි වූවා ද කියා පමණි.

වෙන්කතේශ් ප්‍රසාද් නම් ඉන්දියානු වේග පන්දු යවන්නා දැනටත් සනත් ජයසූරිය ගැන මතක් කරන්නේ යම් කිසි බිය මුසු හැඟීමක් හිතේ දරාගෙනය.

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය …

තවමත් ඉන්දියානුවන්ට සනත් ජයසූරිය සිහිනෙන් පවා පෙනෙන බවට මීටත් වඩා උපහැරණ අවශ්‍ය නැත. 

ඉන්දියානු දෙවියා වන සචින් තෙන්ඩුල්කාර්ට ඉහළින් අනූව දශකයේ සූර්‍යා (සනත් ජයසූරිය) නම් ශ්‍රී ලාංකික දෙවියා පිදුම් ලැබූ බවත් තවමත් මතකයේ ඇත. 

සනත්ගේ පීක් එකේ ටුවෙන්ටි, ටුවෙන්ටි ලීග් තිබුණා නම්” 

ඇතැම් ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් මැසිවිලි නගන්නේ සූර්‍යාගේ නියම තරම නිසාය.

ඇත්තටම විස්සයි විස්ස තරගාවලි තිබුණා නම් ඔහුගේ ලංසුව කීයක් වේ දැයි කිව නොහැක.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 250 ජයග්‍රහණයක් වෙනුවෙන් වුවමනාවටත් වඩා ප්‍රමාණවත් වූ සමයක මුලින්ම ලකුණු තුන්සීයේ සීමාවන් ඉක්මවා ජය ගත් වැඩ කරුවන් අපි වූයෙමු. 

1997 පාකිස්තානු සිව්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර මාධ්‍ය සාකච්ඡාවක දී හැන්සි ක්‍රෝන්යේ අපිට මුලින් ගහන්න වුනොත් ලකුණු පන්සීයක්වත් ගහන්න වේවි කියා කිව්වේ අපේ උන්දැලාගේ හැටි හොඳින් දන්නා නිසාය.

අඩුත් නැති වැඩිත් නැති නියම ගාණට ක්‍රිකට්

ඒ දවස්වල සවස් යාමයේ MTV නාලිකාව විවිධ රටවල්වල ක්‍රිකට් අග සිට මුලට ශ්‍රී ලාංකිකයන්ට සමීප කළ කාලය මේ ලිපිය කියවන ඇතැමුන්ට මතක ඇතැයි අනුමාන කරමි.

1995 සාජා ශූරයින්ගේ කුසලාන තුන්කොන් තරගාවලිය සහ 1996 සිංගර් ලෝක ශූරයින්ගේ සිව්කොන් කුසලානය TNL, 1997 පාකිස්තානු සිව්කොන් තරගාවලිය ස්වර්ණවාහිනිය, 1998 ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු සංචාරය සිරසෙන් විකාශය කළ බව මතකයෙන් කියන්නට තරම් හැකියාවක් එකල සිටි ක්‍රිකට් පිස්සන්ට අදටත් තිබේ.

ජාතික රූපවාහිනිය හෝ ගුවන් විදුලියේ ක්‍රීඩා සේවය කළ සේවය අතිමහත් අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැත.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව කියා වෙනසක් නැතිව අඩුත් නැති වැඩිත් නැති ක්‍රිකට් ඒ දවස්වල අපිට ලැබුණේය.

එලාම් ඔරලෝසු නැතිවුණත් පුරුද්දට උදේ පහට, පහමාරට නැගිට ඕස්ට්‍රේලියානු තරග සමය නැරඹූ කාලය එයයි. ෂේන් වෝන්, ඇලන් ඩොනල්ඩ්, ක්‍රේග් මැක්ඩර්මට් වැනුන් සුදු පැහැ හෝ තමාගේ රටට අදාළ පැහැයෙන් සින්ක් ක්‍රීම් මුහුණේ, නහය දෙපැත්තේ, සහ තොල්වල උලාගෙන පිතිකරුවන් නන්නත්තාර කළ සමය ලියුම්කරුට කිසිම දිනෙක අමතක වන්නේ නැත. 

© Getty Images

කේබල් ටීවී, සැටලයිට් ටීවී හෝ වේගවත් අන්තර්ජාල පහසුකම් නැති ඒ දිනවල දොරකඩටම ක්‍රිකට් ගෙන එමේ වගකීම මෙරට රූපවාහිනී නාලිකා උපරිමයෙන් ඉෂ්ට සිද්ධ කළහ.

ක්‍රිකට් තරග සමය ඇරඹෙන විට වහල දිගේ බඩගා ඇන්ටනාව එහෙට මෙහෙට කරකවා රූපවාහිනී නාලිකා තිතට සුසර කර ගැනීමට අපේ ඇත්තන්ට අමුතු පුහුණුවක් අවශ්‍ය නොවීය.

සමහර අවස්ථාවක රූපවාහිනියෙන් තරග නරඹන අතර වාරයේම ගුවන් විදුලිය ඔස්සේ පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහයන්ගේ හඬට සවන් දුන්නෙමු.

රූපවාහිනියෙන් සජීවීව විකාශය නොකරන තරග ක්‍රීඩාංගණයේ සිට නරඹන තරමේ හැඟීමක් ගෙන එමින් ගුවන් විදුලිය හරහා ගෙන එන්නට ඔවුන් කළ මෙහෙය අතිමහත්ය. සිංහල ක්‍රිකට් සංස්කෘතියට ඔවුන් දායද කළ සියලු දේ ගෞරව බහුමානයෙන් සිහි කළ යුතුමය. අද මා ඇතුළුව බොහෝ දෙනෙකු උඩ දමාගෙන ලියන්නේ ඔවුන් සරදම් මැද්දේ ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් සිංහල යෙදුම්ය.

ක්‍රිකට් ලොව, ක්‍රීඩා ඇතුළු පුවත්පත්, සඟරා සතිපතා, මාස් පතා, සති දෙකකට වරක් යහමින් දැනුම බෙදමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගරය පෝෂණය කළෝය.

එඩ්නා ස්ටිකර් උන්මාදය

එඩ්නා නම් ප්‍රසිද්ධ චොක්ලට් සමාගම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ස්ටිකර් අංක යටතේ නිකුත් කොට තෑගි බෙදා දුන්නේත් මේ කාලයේ දී ම ය. 

“76-100 සහ 101-125 වෙනකල් සැහැල්ලු පන්දු පිත්ත, 301-325 – ක්‍රිකට් පෑඩ් ජෝඩුව, 326-350ට හෙල්මට් එකනේ”

 යනාදී වශයෙන් තවමත් ක්‍රිකට් පිස්සන්ට එදා දුන් තෑගි වල මතකය ඉතිරි වී තිබේ.

©බුල්ටෝ කඩේ (හසිත හේරත්)

ඔක්කොම හොයාගත්තා 305-349 හොයාගන්නම බැරි වුණා. 375ට උඩ ස්ටිකර් 25ක් දීලා එඩ්නා කැප් එකක් ගත්තා.”

යනුවෙන් ඔවුන් තවමත් ආඩපාලි කියන්නේ ඒ දවස්වල කොලුගැටව් අතර ක්‍රිකට් බඩු ගන්නට ඒ තරම්ම පොරයක් තිබූ නිසාය.

ඇතමුන් චොකලට් මිළට ගෙන ස්ටිකරය ගෙන චොකලට් එක විසි කරදමන තරමටම මේ උන්මාදය දරුණු වී තිබුණි.

කොකා කෝලා පියනේ බැට්ස්මන්ලා 05ක් එකතු කරලා ක්‍රිකට් බෑග් එක අරින්න ට්‍රයි කරා. කොකා කෝලා බෝල තුනක් දිනා ගත්තා අන්තිමට.” 

තවමත් ඒ දවස්වල බෝ වූ ක්‍රිකට් උණේ මතක සටහන් ඉතිරිවී පවතී.

ඒ දවස්වල මැච් එකක් තියන දවසට සිංගර් ප්‍රදර්ශනාගාර අසල පොර කන සෙනඟ දැන් කාලයේ එවුන් දුටුවහොත් පුදුමයට පත්වණු ඇත. ගෙදර යන්නට තිබෙන අන්තිම බසයත් මග හැරගෙන ෂෝ රූම් එකක් ඉදිරිපිට ක්‍රිකට් බැලූ අතීතයක් සමහර ශ්‍රී ලාංකිකයන්ට තිබේ. බඩට කන්න නැතිව ඔවුන් කළ කැපවීමට ශ්‍රී ලංකා වර්ණ හැඳ ගත් ක්‍රීඩකයෝ සීයයට පන්සීයක උපරිම සාධාරණයක් ඉටු කළ බැව් කිව යුතුමය.

අපි, ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ලෝක තලයේ ප්‍රබලයෙක් වන හැටි ද, 1996 ඒ අතිශය රමණීය ජයග්‍රහණය දැක ගන්නට ද පිං ලද්දෝ වෙමු. එසේ ඉහළ නැගුණු ක්‍රිකට් පතුලටම වැටෙන අයුරු ද අපි දැක ඇත්තෙමු. එහෙත් අපේ ක්‍රිකට් හැමදාම වගේ ඔළුව ඉස්සුවේය. අනූ ගණන් හෝ දෙදහස් ගණන් කියා වෙනසක් නැත. ඔවුන් නැවත විජයග්‍රහණයන් මව්බිමට ගෙන එමින් ඉහළටම යනු ඇත. එතෙක් මදක් ඉවසමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<