ෆිනිෂර් දෝනි!

1374

90 දශකයේ එක්තරා දිනෙක බිහාර් ප්‍රාන්තයේ රංචි නගරයේ, ශ්‍යාමලී නම් පාපන්දු ඇකඩමියේ ක්‍රීඩකයින් පිරිසක් පුහුණුවීම් වල නිරත වෙමින් සිටියහ.

ක්‍රීඩකයින් පුහුණු වෙද්දී ක්‍රීඩා පිටිය දෙස බලා සිටින මැදි වයසේ මිනිසෙකි. ඔහුගේ තියුණු දෑස කෙළින්ම යොමු වී තිබුණේ කණ්ඩායමේ ගෝල රකින්නා වෙතය. මේ ළාබාල ගෝල රකින්නා ඉතා කඩිසර ය, නම්‍යශීලී ය, ප්‍රතික්‍රියා වේගය ඉතා ඉහළ ය.

කේශබ් රංජන් බැනර්ජී නම් මේ නිරීක්ෂණයේ යෙදෙන පුද්ගලයා DAV ජවහර් විද්‍යා මන්දිර් ක්‍රීඩාව භාර ආචාර්යවරයා ය. ඔහු සතුටින් දෑත් පිරිමැද්දේ මෙතුවක් කල් සොයමින් සිටි දෙයක් ලැබුණා සේය. DAV ජවහර් විද්‍යා මන්දිර් ක්‍රිකට් කණ්ඩායමට කඩුලු රකින්නෙකුගේ පුරප්පාඩුවක් ඇති බව ඔහු දැන සිටියේය.

ඔහු ඒ අවස්ථාවේ දී ගන්නට සැරසෙන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන තීරණයක් බව බැනර්ජි අචාර්යවරයා එවලේ දැන සිටියේ නැත.

ක්‍රීඩා ආචාර්යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නට, කඩුලු රැකීමේ යෙදෙන්නට කැමති දැයි අප ඉහත සඳහන් කළ දරුවාගෙන් විමසා සිටියේය.

තරමක අකමැත්තකින් සහ අදිමදි කිරීමකින් පසුව ක්‍රිකට් අත් ආවරණ පැලඳ ගන්නට මහේන්ද්‍ර සිං දෝනි නම් ඒ කුඩා දරුවා කැමැත්ත ප්‍රකාශ කළේය.

මහී නමින් අසල්වැසියන් සහ මිතුරු කැල අතර ප්‍රසිද්ධියක් ඉසිලූ අප කතානායක දරුවා බිහාර් ප්‍රාන්තයේ රංචි නගරයේ උපන් අයෙකි. 90 දශකයේ උපන් බොහෝ අනෙක් දරුවන් මෙන් ඔහු ද එළිමහන් ක්‍රීඩාව හා පෙමින් බැඳෙන්නේ ඉතාම කුඩා අවධියේ දී ය.

මූලික අධ්‍යාපනය සඳහා දෝනි ඇතුළත් කෙරෙන්නේ DAV ජවහර් විද්‍යා මන්දිර් වෙතය. ඔහු පාසලේ දී බැඩ්මින්ටන් සහ පැසිපන්දු ක්‍රීඩා කළ අතර වඩාත්ම ප්‍රසිද්ධ වූයේ පාසල් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙසිනි.

එදා බැනර්ජී ආචාර්යවරයාගේ තියුණු ඇසට කුඩා දෝනි අසු නොවූයේ නම් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට මහානර්ඝ වස්තුවක් අහිමි වීමට තිබුණි.

දෝනි ක්‍රීඩා කළ මුල්ම පාසල් තරගයේ දී ඔහුගේ දස්කම් ඉහළ මට්ටමක විය. ආධුනික කඩුලු රකින්නෙකු ලෙස ඔහු ක්‍රීඩා කළ ආකාරය බලා සිටි පුහුණුකරුවා රංචියේ Commando’s XI නම් ක්‍රීඩා සමාජයේ කඩුලු රකින්නාගේ අත් ආවරණ දෝනි වෙත පිරිනමන්නට තීරණය කළේය.

“පාසල් කණ්ඩායමේ ඔහු ක්‍රීඩා කළේ මැදපෙළ වුවත් මම ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ඔහුව පිතිකරණයේ යෙදෙව්වේ 8, 9 ස්ථානවල. මහී ලකුණු දහයක් ගැහුවත් අනිවාර්යයෙන්ම ඒකේ හයේ පාරක් නම් අනිවාර්යයයි.

ඔහුගේ ඔළුව වැඩ කරන විදිය කවුරුත් දැනන් හිටියේ නෑ. ඔහු වැඩිය කතා කරපු කෙනෙකුත් නෙවෙයි.”

ඒ කේශබ් බැනර්ජී සිය කඩුලු රකින සිසුවා ගැන මුල්ම මතකය අවධි කළ ආකාරයයි.

ඉතා ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙස දෝනිගේ නාමය රංචි ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.

වරක් ඔදීෂා’හී පැවති තරගයක් අතරතුර පන්දුවට පහර දෙමින් සිටියේ දෝනිය. එකවරම ඉහළ නැගුණ පන්දුවක් ඔහුගේ වම් අතේ වැදුනි.

ස්කෑන් පරීක්ෂණවලින් අනතුරුව පෙන්නුම් කෙරුණේ දෝනිගේ වම් අතේ අස්ථි බිඳීමක් සිදු වී ඇති බවය.

වෛද්‍ය නිර්දේශය වූයේ වෙලුම්පටි වලින් වෙලී ගිය දෝනිගේ අත සුව වන තුරු ක්‍රිකට් පිත්තක් හෝ නොඇල්ලිය යුතු බවය. එමෙන්ම කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කරන්නට ද ඔහුට තහංචි වැටුණි.

කඩුලු රකින අත් ආවරණ වෙනකෙකුට ලබා දුන් දෝනි පන්දු යවන්නට පටන් ගත්තේය. කඩුලු කිහිපයක් දවා ගත් දෝනි සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට පවා සමත් විය.

මහේන්ද්‍ර සිං දෝනි සිය පාසල් කණ්ඩායමේ සගයින් සමඟ

කුඩා කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකටම සක්‍රීයව දායකවීමේ ඇම්මක් ඔහුට තිබුණි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් අනතුරුව දෝනිගේ ඊළඟ ඉලක්කය වූයේ 2000 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යොවුන් ලෝක කුසලානයේ දී ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීමයි.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ කඩුලු රකින්නාගේ ස්ථානයට අජේ රත්‍රා, අමිත් දේශ්පාන්ඩේ, දෝනි සමඟින් තරග වැදුණ අතර තිදෙනාගෙන් වඩාත්ම ආක්‍රමණශීලී පිතිකරුවා වූ මහේන්ද්‍ර සිං දෝනිට එම ස්ථානය ලබා දෙන්නට ඉන්දියානු බලධාරීන් කැමති වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යොවුන් කණ්ඩායමේ කඩුලු රකින්නාගේ අත් ආවරණ භාර වූයේ අජේ රත්‍රාටය.

2000 වසරේ අසාම් ප්‍රාන්තයට එරෙහිව පළමුපෙළ තරග වරම් දිනා ගන්නට දෝනි සමත් විය. සිය මුල්ම දවාලීම ලෙස පරාග් දාස් ස්ටම්ප් කිරීමට ලක් කළේය. ඊට වසර 19කට පසු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගයක දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් පරාග් දාස්ගේ පුත්‍රයා වන රියාන් පරාග් උඩපන්දු රැක ගැනීමකින් දවාලන්නට දෝනි සමත් විය.

ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණ දෝනි 2002 වසරේ Railways කණ්ඩායමේ තෝරාගැනීමේ සැසිවලට සහභාගී වුව ද, තේරීම් කමිටුව ඔහුගේ පිතිකරණ හෝ කඩුලු රැකීමේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්වූයේ නැත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙහෙය වූ ඉන්දියාව පුරා සිටින ක්‍රිකට් දක්ෂයින් හඳුනා ගෙන ඉදිරියට ගෙන ඒමේ වැඩසටහනක දී ප්‍රකාශ් පොද්දාර් නම් හිටපු බෙංගාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට මහේන්ද්‍ර සිං දෝනි නම් යෞවනයා ඇස ගැටෙන්නේ මේ අතරවාරයේ දී ය. ඔහු දෝනි පිළිබඳ වාර්තාවක් වහාම ජාතික ක්‍රිකට් ඇකඩමියට ‍යොමු කළේය.

2004 මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී වසරක් විය. එම වසරේ දී නැගෙනහිර කලාප කණ්ඩායම නියෝජනය කරමින් Deodhar කුසලානයේ දී සිය මුල්ම List A ශතකය වාර්තා කර ගත් දෝනි ඉන්දියානු A කණ්ඩායම සමඟ කෙන්යාවේ සංචාරයකට එක් විය.

මහේන්ද්‍ර සිං දෝනි පාකිස්තානු කණ්ඩායමට එරෙහිව සිය මුල්ම එක්දින ශතකය වාර්තා කරගත් අවස්ථාව. ©Getty Images

ඉන්දියානු, පාකිස්තානු සහ කෙන්යා A කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවති තුන්කොන් තරගාවලියේ දී පාකිස්තානු A කණ්ඩායමට එරෙහිව ශතක දෙකක් වාර්තා කරගන්නටත්,

තරගාවලියේ වීරයා සම්මානය දිනා ගන්නටත් දෝනි සමත් විය. දෝනි 2004 වසරේ හොංකොං සික්සස් තරගාවලියට සහභාගී වූ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

ඉන්දියානු වරම් ලබන්නට පෙර දෝනි වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නට කිසිවෙකු සිටියේ නැත. පරම්ජිත් සිං නම් දෝනිගේ මිතුරෙකුට පිං සිදු වන්නට සිය ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකයෙකු සොයා ගන්නට දෝනිට හැකියාව ලැබුණි.

වරක් පුවත්පත් සාකච්ඡාවක් වෙනුවෙන් දෝනිගේ ඡායාරූපය ගන්නට සූදානම් වූ ඡායාරූප ශිල්පියෙකුට දෝනි පැවසුවේ තමන්ගේ ඡායාරූපයක් පුවත්පතේ පළ කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිත්තේ අනුග්‍රාහක සලකුණ ඊට අන්තර්ගත විය යුතු බවය. තමා වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූවන්ට දෝනි සිය කෘතවේදී බව පළ කළේ එලෙසය.

2004 වසරේ දෙසැම්බරයේ ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ දෝනිගේ ආරම්භය එතරම් සුබදායි එකක් නොවුනත් සිය පස්වැනි එක්දින තරගය වන විට තමා කවරෙක් දැයි ලෝකයාට පෙන්වීමට ඔහුට හැකියාව ලැබුණි.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව දිනා නොගත් ගෞරවයක් නැත. ඔහුට ඉන්දියානු ක්‍රිකට් නායකත්වය ලැබෙන්නේත් අහම්බයකින් මෙනි.

2007 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවන්නට ඉන්දියානු කණ්ඩායමට සිදු විය.

වසර අග දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් රහිත තරුණ කණ්ඩායමක් එවන්නට ඉන්දියානු බලධාරීන් තීරණය කළෝය. එහි නායකත්වය ලැබුණේ දෝනිටය.

එලෙස දෝනිගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවට පැමිණි තරුණ ඉන්දියානු කණ්ඩායම කිසිවෙකු නොසිතූ පරිද්දෙන් විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින්ගෙන් ඩැහැගෙන ඉන්දියාවට රැගෙන ගියෝය.

එදා ඉන්දියානුවන් ලද අනපේක්ෂිත ජයග්‍රහණය ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එකකි.

එතැන් පටන් 2011 ලෝක කුසලානය, 2013 ශූරයින්ගේ කුසලානය, ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය, ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලි ඇතුළු බොහෝ තරගාවලින් තුළ දෝනි සිය නායකත්ව අණසක පතුරන්නට සමත් විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<