IPL 2022 හි “කාර්තිකාගමනය”

6603
Indianexpress.com

“DK (දිනේෂ් කාර්තික්) හොඳටම ක්‍රිකට් ගහමින් ඉන්නවා. මං හිතන්නෙ ඔහුට ආයෙත් ජාත්‍යන්තර ක්‍රිකට්වල ඔහුගේ නම සටහන් කරන්න ඕන ඇති. නැද්ද?”, මේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වත්මන් නායක ෆෆ් ඩු ප්ලෙසි පවසන අදහසකි.

උස අඩි 5 අඟල් 7ක ක්‍රිෂ්ණ කුමාර් දිනේෂ් කාර්තික් මේ වන විට ඉන්දියානු පළමු පෙළ ක්‍රිකට්වල සිටින අත්දැකීම් බහුලම “කඩුලු රකින්නා හා පිතිකරුවා” ය. 2004 සැප්තැම්බරයේ දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලබා, පසුව නොවැම්බරයේ දී ටෙස්ට් වරම් ලැබූ ඔහු තියා අපවත් එකල 20/20 ක්‍රිකට් රටාවක් ගැන අසා නොතිබුණි.

තරග අවසන් කරන්නෙකු ලෙස ඉන්දියානු කණ්ඩායමට වැඩිම සේවය ඉටු කර ඇත්තේ කඩුලු රකින පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි වුවත්, ඔහුගේ පසුපසින් අතිරේක බංකුවට වී සිටි මීළඟ ඉන්දියානු කඩුලු රකින්නා වූ කාර්තික් කෙතරම් දක්ෂ තරග අවසන් කරන්නෙකු ද යන වග 2018 දී අප සියලු දෙනාටම සනාථ විය.

හදිසියේම ඔහු අපගේ නෙත් සිත් පැහැර ගන්නේ 2018 නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී නොසිතූ ලෙසින් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරවා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ වූ බංග්ලාදේශ විරෝධයට සාධාරණය ඉටු කළ පසු ය. ඉතාම අසීරු මොහොතක ඔහු විසින් ක්‍රීඩා කළ එම ඉනිම ඓතිහාසික ය, විශිෂ්ට ය.

thestatesman.com
ඔහු විසින් ක්‍රීඩා කළ එම ඉනිම ඓතිහාසික ය, විශිෂ්ට ය

එහෙත් ඔහුගේ ප්‍රමුඛ රාජකාරිය වූයේ තරග අවසන් කිරීම නොවේ. ඉක්මනින් කඩුලු අතර දිවයමින්, ස්වීප්, පුල් සහ ලේට් කට් පහරවල් වලින් ඉක්මන් ඉනිම් ක්‍රීඩා කළ හැකි මැදපෙළ පිතිකරුවෙකු වූ කාර්තික් ඉන්දියානු ක්‍රිකට් වලටම සීමා වී සිටියේය.

කඩුලු රකින්නෙකු ලෙසත් ඔහුව සැලකුණේ පහසු අවස්ථාවන් අත්හැරෙන, එහෙත් අපහසු අවස්ථාවන් ග්‍රහණය කරගන්නා කඩුලු රකින්නෙකු ලෙස ය. පිතිකරණයේ දක්ෂතාව නිසාම වරින් වර ඉන්දියානු මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු අවසන් 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළේය.

එහෙත් ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථා ප්‍රමාණය අඩු නිසා ඔහුගේ තීරණය වූයේ ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදීමටයි. ඔහුගේ වයස අවුරුදු 35 ඉක්මවා ගියේය. රිෂාබ් පන්ට් මීළඟ ඉන්දියානු කඩුලු රකින්නා බවට පත්විය. කේ.එල්. රාහුල් සහ සංජු සැම්සන් ද එක පෙළට ඉන්දියානු කඩුලු රකින්නාගේ අත් ආවරණවලට හිමිකම් ඉල්ලමින් පෝලිමේ සිටගත්තෝය.

එබැවින් ඉන්දියානු කණ්ඩායමේ පසුගිය එංගලන්ත ටෙස්ට් සංචාරයේ දී දිනේෂ් කාර්තික් විස්තර විචාරකයෙකු වශයෙන් සහභාගී වූයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහුගේ මීළඟ රාජකාරිය හඳුනා ගැනීමට විය හැකිය.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට නැවත ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම අපහසු කරුණක් බව පෙනෙන්නට තිබිණි. විස්තර විචාරණයේ දී සාමාන්‍ය ඉන්දියානු විස්තර විචාරකයෙකු ලෙස නොවී දක්ෂ ලෙස විස්තර විචාරණයේ යෙදුණු ඔහු ඔහුගේ ක්‍රිකට් ඥානය ලොවට ප්‍රදර්ශනය කළ බව අපි දුටිමු.

ඉන්දියානු කණ්ඩායමේ අවස්ථා කෙසේ වෙතත්, IPL වැනි වරලත් තරග රටා ඔහුව බලාපොරොත්තුවෙන් සිටියේය. සියල්ල මැද කාර්තික් නැවත ක්‍රිකට් පිටිය තුළට පා තබන්නේ 2022 IPL තරගාවලියේ දීයි.

විස්තර විචාරකයෙකු ලෙස

එතෙක් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ ඔහු 2022 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් කෝටි 5.5කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා එක්විය. ඔහුට සාපේක්ෂව එය අඩු ලන්සුවකි.

2018 දී කල්කටා නයිට්රයිඩර්ස් විසින් ඔහුව තෝරාගන්නා විට ඔහුගේ මිල ඉන්දියානු රුපියල් කෝටි 7.4කි. 2022 වන විට කාර්තික්ගේ මිල පහළ බැස ඔහු චැලෙන්ජර්ස් හා එක්වෙද්දී චැලෙන්ජර්ස් කණ්ඩායමේ තරග අවසන් කරන්නා වූ ඒ. බී. ඩිවිලියර්ස් කණ්ඩායමෙන් නික්ම ගොස් ය. දිනේෂ් කාර්තික් විසින් ඩිවිලියර්ස්ගේ හිස්තැන පුරවනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇති.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ 2022 IPL කුසලාන දඩයම ආරම්භ කරමින් 36 හැවිරිදි දිනේෂ් කාර්තික් පළමු තරගයේ සිටම ප්‍රේක්ෂකයන්ව විමතියට පත්කරන්නට සමත් විය. ඒ ඔහුගේ තරග අවසන් කිරීමේ විශේෂ හැකියාවත් සමඟිනි.

පළමු තරගයේ දී ම අපහසු අවස්ථාවක් මනාව කළමනාකරණය කර ගත් ඔහු (පන්දු 23න් ලකුණු 44) සහ ශබාස් අහමඩ් (පන්දු 26න් ලකුණු 45) එකතුව තරගය ජයග්‍රහණය කරා ගෙනගියේය.

එතැනින් පසුව මේ වන තෙක් 2022 IPL තරගාවලියේ තරග 7ක දී අර්ධ ශතකයක් ද ඇතුළුව ඔහුගේ ලකුණු සාමාන්‍යය 210කි. ප්‍රහාරක වේගය 205.08කි. හතරේ පහරවල් ගණන 18කි, හයේ පහරවල් ගණන 15කි. ඒ නම් සැබෑවටම 20/20 තරග අවසන් කරන්නෙකුගේ ලකුණු දත්තයන් ය.

ඔහුගේ යළි පිබිදීමත් සමඟින් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ඩිවිලියර්ස්ගේ අඩුව සම්පූර්ණයෙන්ම මැකී ගිය අතර ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් තවත් මානයක් විවර විය. මහේන්ද්‍ර සිං දෝනිගෙන් පසුව ඔවුන්ට විශිෂ්ට තරග අවසන් කරන්නෙකු නිර්මාණය වෙමින් තිබේ. ඒ. බී. ඩිවිලියර්ස් මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“ඔහු ඉන්න රිද්මයත් එක්ක ඔහු මේ වෙනකොටත් චැලෙන්ජර්ස් කණ්ඩායමට තරග 2, 3ක්ම දිනවලා දීලා ඉවරයි. ඔහුගේ ජීවිත කාලෙටම ඔහු ඉන්න හොඳම රිද්මයේ ඉන්නවා වගෙයි පේන්නේ. ඔහු ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙත් නෑ, මං දන්නෙ නෑ ඒ රිද්මය කොහෙන් ආවා ද කියලා. ඒත් ඔහු ඉහළ රිද්මයක ඉන්නවා වගේම ඔහු කඩුල්ල වටා අංශක 360ම ක්‍රීඩා කරනවා.”

ඩිවිලියර්ස් හට පමණක් නොව අපට ද ඔහුගේ දස්කම් කැපී පෙනෙයි. මෙතෙක් මැදපෙළ ඉක්මන් ඉනිම් ක්‍රීඩා කිරීමෙන් පමණක් නැවතුණු කාර්තික් නම් හුරුබුහුටි පිතිකරුවා මේ දැස් එල්ල කරන්නේ මීළඟ 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගන්නට ද?

“ඔහුව බලද්දී ඔහු මාවත් පොළඹවනවා ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න කියලා. ඔහු මට උද්යෝගයක් ගෙන එනවා. මැදපෙළ පීඩනයත් එක්ක ක්‍රීඩා කරන්න ඔහුට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඔහු මේක දිගටම කරගෙන ගියොත් චැලෙන්ජර්ස් කණ්ඩායම තව ගොඩක් ඉහළට යාවි”, පෙර වසර කිහිපයේ දී එම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ ඩිවිලියර්ස් එසේ කියයි.

තමිල්නාඩුවෙන් බිහි වූ කාර්තික් මෙවර IPL තරගාවලියේ තරග 7ක දී මෙතෙක් දැවී ගොස් ඇත්තේ එක්වරක් පමණකි. ඔහු විසින් ලකුණු 210ක් වාර්තා කොට තිබේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමස්ත ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

එමෙන්ම කඩුලු රකින්නෙකු ලෙස IPL ඉතිහාසයේ වැඩිම උඩපන්දු වාර්තා කොට ඇත්තවුන් අතර ඔහු දෙවැන්නා විය. මහේන්ද්‍ර සිං දෝනි උඩපන්දු 164ක් සමඟින් එහි පළමුවැන්නා ව සිටිය දී කාර්තික් විසින් උඩපන්දු 150ක් සම්පූර්ණ කොට දෙවැනි

ස්ථානයට පත්ව ඇත. තරගාවලිය තවත් දීර්ඝ ය. එබැවින් බලාපොරොත්තු විය හැකි දේ බොහෝ ය.

දකිමින් සිටින පරිදි කාර්තික් හට ඔහුගේ දස්කම් තවදුරටත් පවත්වා ගෙන යා හැකි නම්, ඉන්දියානු ජාත්‍යන්තර 20/20 කඩුලු රකින්නා ලෙස රිෂාබ් පන්ට්ගේ ස්ථානය අවදානමට ලක්වනු ඇත.

එබැවින් පන්ට් හට ද ඔහුගේ දස්කම් ඉහළ නංවා ගැනීමට සිදු වනු ඇති. තරුණ ක්‍රීඩකයෙකු හටත් එවැනි පීඩනයක් එල්ල කරන 36 හැවිරිදි කාර්තික් සැබවින්ම අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදර්ශයකි.

“මම මගේ නමට සාධාරණයක් කරන්න කල්පනාවෙන්, උත්සාහයෙන් වැඩ කළා. මට දැනුණා අන්තිම අවුරුදු කිහිපයේ දී මට තව වැඩියෙන් දේවල් කරන්න තිබුණා කියලා. මම පුහුණු වෙන විදිහ වෙනස් කළා. මම මටම කියා ගත්තා, තාම ඉවර නෑ කියලා. මට ඉලක්කයක් තියෙනවා, මට ඒක ළඟාකරගන්න ඕන.”

දිනේෂ් කාර්තික් පවසන්නේ එලෙස ය. ආදර්ශමත් දිනේෂ් කාර්තික් හට තවත් දස්කම් පෑමට හැකි වේවා!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<