බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

593

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය පසුගිය වසරවලට සාපේක්ෂව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට වීමට සියලු කටයුතු සූදානම් බව තරගාවලි සංවිධායක කමිටුව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.කණ්ඩායම් 8ක් තරග වදින මෙම ක්‍රිකට් සැණකෙළිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වය කැපී පෙනේ. හෙටින් ආරම්භ වී පුරා මාස දෙකකට ආසන්න කාලයක් තුල දී තරග 59ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

සිංහයින් ක්‍රිකට් පිටියේ නැවතත් පෙරළියක

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ…

මෙවර කණ්ඩායම් විසින් තම සංචිතවලට එක්කරගෙන තිබෙන විදෙස් ක්‍රීඩකයින් පිළිබඳ කෙටියන් තැබූ සටහනක් පහත දැක්වේ.

 Adelaide Strikers කොලින් ඉන්ග්රෑම් (දකුණු අප්‍රිකාව) සහ රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)

Bigbash.com.au ඉහළ-කොලින් ඉන්ග්‍රෑම්, පහළ-රෂීඩ් ඛාන්

ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින කොලින් ඉන්ග්රෑම්  ලොව පුරා විස්සයි විස්ස තරගාවලීන් හී ක්‍රීඩා කරමින් අත්දැකීම් ගොන්නක් සහිත, මෙම ආකෘතිය පිළිබඳ විශේෂඥයකු ලෙස හැදින්විය හැක. ඉතා ජවසම්පන්න ක්‍රීඩකයෙකු වන මොහු තමා වෙත යොමු කරන පන්දු නැවත ක්‍රීඩාගාරය දෙසට හරවා යැවීමට සමතෙකි. පසුගිය බිග් බෑෂ් තරගවාරයේ දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 277ක් සහ ලකුණු ලබා ගැනීමේ වේගය139.72 ලෙසින් රඳවා ගැනීමට ඔහුට හැකි විය. කෙටි කාලීන පන්දු යවන්නෙකු ලෙස ද කණ්ඩායමට සේවය සැපයිය හැකි නිසා Adelaide කණ්ඩායමේ ප්‍රබල ඉත්තෙකු ලෙස මොහු ක්‍රියා කරයි.

ඇෆ්ගන් මැජික්කරුවා නොහොත් රෂීඩ් ඛාන් මෙවර බිග් බෑෂ් තරගාවලියට පිවිසෙන්නේ ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා ලෙසිනි. ඕනෑම අවස්ථාවක තරගයේ ඉරණම වෙනස් කිරීමේ අපූර්ව හැකියාවක් රෂීඩ් සතු අතර ඔහු ප්‍රබල පිතිකරණ ලැයිස්තු පවා සිය පන්දු යැවීම හමුවේ අසරණ කළ අවස්ථා බොහෝ වේ. 2017 බිග් බෑෂ් තරග වාරයේ දී කඩුලු 18ක් දවා ගනිමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් විය.

Brisbane Heat – බ්රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) සහ මුජිබර් රෙහෙමාන් (ඇෆ්ගනිස්තානය)

Bigbash.com.au – බ්‍රෙන්ඩන් මැකලම්

බිග් බෑෂ් ලීගයට නැතුවම බැරි ක්‍රීඩකයෙකු ලෙස හිටපු නවසීලන්ත නායක බ්රෙන්ඩන් මැකලම් නම් කළහොත් මා නිවැරදිය. දෙස් විදෙස් තරගාවලීන් වල ලබාගත් අත්දැකීම් සමුදායක් සතු මොහු ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවමින් කණ්ඩායමට ලබා දෙන ආරම්භය මත දිනය අවසානයේ දී තරගයේ තීරණය රඳා පැවති අවස්ථා එමටය. පසුගිය තරගවාරයේ දී අර්ධ ශතක දෙකක් ද ඇතුළුව ලකුණු 248ක් තම ගිණුමට බැර කරගැනීමට මැකලම් සමත් විය.

ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට්…

තවමත් වයස අවුරුදු 17ක තරුණයෙකු වුවත් ඔහු පෙන්වා ඇති දක්ෂතා නම් සුලු පටු නැත. මුජිබර් රෙහෙමාන් එක්දින පන්දු යවන්නන්ගේ හොඳම පන්දු යවන්නන් 10දෙනා අතර සිටින දෙවන ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයා වන අතර මෙම වසර පුරාවට තම ජාතික කණ්ඩායම ඇතුළුව IPL, CPL වැනි තරගාවලීන් හිදී පන්දු යැවීමෙන් ඔහු පෙන්වූ දක්ෂතා කාගෙත් කතා බහට ලක් විය.

ඔහු නව පන්දුවෙන් පන්දු යැවීමට වැඩි ප්‍රියාතාවක් දක්වන අතර පන්දුවේ වේගය වෙනස් කරමින් විවිධ පන්දු සංකලනයන් යොදා ගනිමින් ප්‍රබල අත්දැකීම් බහුල පිතිකරුවන්ට පවා දැඩි පීඩනයක් එල්ල කිරීමට ඔහු සමත් වී තිබේ. මෙවර වැඩිම කඩුලු ලාභියා වීමේ සටනේ ඉහළින්ම සිටී යැයි අපේක්ෂා කරන ක්‍රීඩකයින්ගෙන් කෙනෙකි මොහු.

Horbat Hurricanes – ජොෆ්රා ආචර් (බටහිර ඉන්දීය කොදෙව්/ එංගලන්තය) සහ ටයිමාල් මිල්ස් (එංගලන්තය)

Bigbash.com.au ඉහළ-ජොෆ්‍රා ආචර්,පහළ-ටයිමාල් මිල්ස්

ජොෆ්රා ආචර් 2017 බිග් බෑග් තරගාවලියෙන් කරළියට පිවිසි තවත් එක් දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකි. ගියවර තරගාවලිය සඳහා සහභාගි වන විට ඔහු ගැන නොදත් බොහෝ දෙනා කෙටි කලක් තුල දී ඔහු වටා එක් රොක් වූයේ ඔහු ප්‍රේක්ෂකයන් සමඟ වඩා සමීපව ක්‍රියා කරන නිවුණු විනෝදකාමි චරිතයක් නිසාවෙනි. කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ආචර් ලබන වසරේ සිට තම සේවය එංගලන්තයට ලබා දීමට සූදානමින් සිටියි. නව පන්දුව දෙපසට දෝලනය කරමින් අඛණ්ඩව පැයට කි.මි. 145 ක පමණ වේගයෙන් පන්දු යැවීමට සමත් මොහු ගියවර තරගාවලියේ කඩුලු 16ක් බිඳ හෙළමින් තම කුසලතා ප්‍රදර්ශනය කළේය.

ගෙවුණු තරගවාරයේ දී අපේක්ෂා කළ තරම් දක්ෂතා අතරට පැමිණීමට ටයිමාල් මිල්ස් අපොහොසත් වූ බැවින් මෙවර ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම හෝර්බට් කණ්ඩායමට අතිශය තීරණාත්මක සාධකයකි. එංගලන්ත ජාතික වමත් පන්දු යවන්නා පැයට කි.මි.150ක පමණ වේගයෙන් පන්දු යොමුකරන අතර වේගය අඩාල කරමින් යවන පන්දු උපයෝගී කරගනිමින් පිතිකරුවන් මුලා කිරීම ඔහු සතු තවත් එක් ප්‍රබල අවියකි. පසුගිය තරග වාරයේ දී මිල්ස් දවා ගැනීමට සමත් වූයේ කඩුලු 8ක් පමණි.

Melbourne Renegades – මොහොමඩ් නාබී (ඇෆ්ගනිස්තානය), උස්මාන් ඛාන් ෂින්වාරී (පාකිස්තානය) සහ හැරී ගර්නි (එංගලන්තය)

Twitter.com මොහොමඩ් නාබී

Renegades කණ්ඩායමේ නාමය ඇසූ සැණින් මතකයට නැගෙන ක්‍රීඩකයා ඩ්වේන් බ්රාවෝය. නමුත් ඔහු මෙවර තමා දිගු කලක් නියෝජනය කළ කණ්ඩායමෙන් ඉවත්ව Melbourne Stars කණ්ඩායම සමඟ එක්වීමට ගත් තීරණය නිසවෙන් ඇෆ්ගන් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නාබීට එම පුරප්පාඩුව පිරවීමට අවස්ථාව හිමිව ඇත.

2017 වසරේ දී තම කුළුඳුල් බිග් බෑෂ් තරගාවලියට සහභාගී වෙමින් කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට ඔහු සමත් විය. නව පන්දුවෙන් කඩුලු ලබා ගනිමින් ද, මැදපෙළ පිතිකරුවෙකු ලෙස පැමිණෙමින් සාර්ථක අවසානයක් කරා තම කණ්ඩායම මෙහෙයවමින් පමණක් නොව පන්දු රැකීමේ දී සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දෙමින් ගියවර ඔහු පෙන්වූ හැකියාවන් මෙවර Renegades කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අතිශය වැදගත්ය.

Renegades කණ්ඩායම මෙවර තරගාවලිය උදෙසා මිල දී ගත් දෙවන විදෙස් ක්‍රීඩකයා වන්නේ පාකිස්තාන ජාතික වමතින් වේගපන්දු යවන උස්මාන් ඛාන් ෂින්වාරී ය. ෂින්වාරී පාකිස්තානය නියෝජනය කරමින් එක්දින ජාත්යන්තර තරග සහ T20 තරග සඳහා ක්‍රීඩා කර ඇත. නමුත් ඔහුට සම්පූර්ණ තරගාවලිය සඳහා සිය දායකත්වය ලබා දීමට නොහැකි වන බැවින් ඒ වෙනුවට තරග 12ක දී  එංගලන්ත නියෝජනය කළ වමතින් වේගපන්දු යවන හැරී ගර්නී සංචිතයට එක් කොට තිබේ.

ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාවට එරෙහිව 1-1 කරති

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් සමන්විත ටෙස්ට්…

Melbourne Stars – ඩ්වේන් බ්රාවෝ (බටහිර ඉන්දීය කොදෙව්), සන්දීප් ලමිචානේ (නේපාලය), ලියාම් ප්ලන්කට් (එංගලන්තය)

Bigbash.com.au ඩ්වේන් බ්රාවෝ

කෙවින් පීටර්සන්ගේ නික්ම යාමත් සමඟම Melbourne Stars සංචිතය බලගැන්වීමට මෙවර එක්කොට ගෙන තිබෙන්නේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ වන අතර පසුගිය තරගාවලීන් සියල්ලටම පාහේ සහභාගී වූ මේ කොදෙව් ජාතික විස්සයි විස්ස විශේෂඥයා පසුගිය දිනක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදී පූර්ණ කාලීනව T20 ලීග් සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කළේය.

වයස 35ක් වූවත් යොවුන් ක්‍රීඩකයෙකුගේ ජවය සහිත බ්රාවෝ පිත්තෙන් පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද තවමත් ඉහළ දක්ෂතා අතර සිටියි.

18 හැවිරිදි නේපාල ජාතික පිට දඟපන්දු යවන සන්දීප් ලමිචානේ තම පළමු බිග් බෑෂ් අත්දැකීම ලබා ගැනීමට සූදානමින් සිටියි. බොහෝ දෙනෙකු සන්දීප්ගේ පන්දුවලට මුහුණ දී නොමැති නිසා ඔහු එය කඩුලු දවා ගැනීමට වාසියක් ලෙස යොදා ගනු නොඅනුමානයි. මෙය ඔහු ඕස්ට්‍රේලියානු භූමියේ දී තරග කරන ප්‍රථම අවස්ථාව වූවත් IPL වැනි තරගාවලිවල ක්‍රීඩා කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් මොහු සතුය. තරගාවලිය අතරතුර දී ඔහු බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය හා එක්වීමට නියමිත බැවින් ඔහුව ආදේශනය කිරීමට එංගලන්ත වේගපන්දු යවන ලියෑම් ප්ලන්කට් සංචිතයට කැඳවා තිබේ.

Perth Scotchers – ඩේවිඩ් විලී (එංගලන්තය) සහ උස්මාන් කාදීර් (පාකිස්තානය)

Bigbash.com.au ඩේවිඩ් විලී

Scotchers කණ්ඩායම් ඉතිහාසය දෙස බැලූ විට හැඟී යන කරුණක් නම් ඔවුන් විදෙස් ක්‍රීඩකයින්ට වඩා තම රටේ ක්‍රීඩකයින් හට වැඩි ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවයි. ගියවර තරගවාරයේ දී තරග 6කට සහභාගී වෙමින් පිත්තෙන් ලකුණු 127ක් සහ පන්දුවෙන් කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් පෑ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී නැවත වරක් කණ්ඩායමෙහි රඳවා ගැනීමට Scotchers කළමනාකාරිත්වය තීරණය කර තිබේ.

හිටපු පාකිස්තාන ක්‍රීඩක අබ්දුල් කාදීර්ගේ පුත් උස්මාන් කාදීර් Perth කණ්ඩායම සමඟ එක්වන්නේ ඔක්තෝබර් මාසයේ නිමාව දුටු JLT කුසලානයේ දී බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් පෙන්වූ දක්ෂතා පදනම් කරගෙනය. පන්දුව දෙපසට දඟ කැවීමට හැකි වීම මොහුගේ සුවිශේෂිත්වයයි.

Sydney Sixers – සෑම් කරන් (එංගලන්තය) සහ ජෝ ඩෙන්ලි (එංගලන්තය)

Bigbash.com.au ඉහළ-සෑම් කරන්,පහළ-ජෝ ඩෙන්ලි

Sydney Sixers කණ්ඩායම තම සංචිතය ශක්තිමත් කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් දෙනෙක් මත විශ්වාසය තබා ඇත. එංගලන්ත ජාතික කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ජෝ ඩෙන්ලි සිය ක්‍රිකට් දිවිය පිතිකරුවෙකු ලෙස ආරම්භ කළ ද පසුකාලීනව පන්දු යවන්නෙකු ලෙස ද සිය හැකියාවන් වර්ධනය කර ගත් බැවින් Sixers කණ්ඩායම ඔහුගේ තුන් ඉරියව් සේවය අපේක්ෂා කෙරේ. ඩෙන්ලි ගෙවුණු බිග් බෑෂ් තරගාවලියේ දී තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 146ක් තම නම ඉදිරියේ සටහන් කරගත්තේය.

කුළුඳුල් බිග් බෑෂ් තරගාවලියට සහභාගී වන ක්‍රීඩක නාමලේඛනයේ තවත් අයෙක් ලෙස සෑම් කරන් නම් කළ හැක.Sixers කණ්ඩායම ඔහුගෙන් පිත්තෙන් සහ පන්දුවෙන් විශාල කාර්යභාරයක් මෙවර තරගාවලියේ දී බලාපොරොත්තු වේ.

Sydney Thunders – ජෝ රූට් (එංගලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), ක්‍රිස් ජෝර්ඩන් (එංගලන්තය), ඇන්ටන් ඩිවිච් (නවසීලන්තය)

Sydneythunder.com.au වම-ජෝ රූට් දකුණ- ජොස් බට්ලර්

බිග් බෑෂ් 2018 තරගවාරයේ ගිවිසුම් අත්සන් කළ ප්‍රබලතම ජාත්‍යන්තර ක්‍රීඩක ද්විත්වය ලෙස ජෝ රූට් සහ ජොස් බට්ලර් අවිවාදයෙන් පිළිගත යුතුය. ඕනෑම තරග ආකෘතියකට පහසුවෙන් අනුගත වෙමින් පිටිය පුරාවටම පහර එල්ල කරන ලකුණු මැෂිමක් ලෙස ජෝ රූට් හැදින්විය හැක.

දක්ෂ කඩුලු රකින්නෙකු මෙන්ම ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවෙකු ලෙස ලොව පුරා T20 තරගාවලි රැසක අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙසින් නම් දැරූ ජොස් බට්ලර් Sydney Thunders කණ්ඩායමේ ඉතා වැදගත් සාමාජිකයෙකි.

මෙම දෙදෙනාගේ දායකත්වය ප්‍රථම තරග හතට පමණක් සීමා වන බැවින් Thunders කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීම තරගාවලියේ ඉදිරියට යෑමට ඔවුන්ට අතිශය වැදගත් වේ.

ක්‍රිස් ජෝර්ඩන් සහ ඇන්ටන් ඩිවිච් මෙම දෙදෙනාගේ ආදේශක ක්‍රීඩකයින් දෙදෙනා ලෙස කණ්ඩායමට එක්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<