2026 පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි

6
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානය ඊයේ (12) රාත්‍රියේ ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුනා.

මෙක්සිකෝවේ Azteca පාපන්දු ක්‍රීඩාංගණයේ දී සැණකෙළියක ස්වරූපයකින් ආරම්භ වූ මෙවර ලෝක කුසලානය සඳහා ලොව නම් දැරූ තරු රාශියක් ද එක් වීම විශේෂත්වයක්.

මෙහි දී ලෝ පතල ගායිකා Shakira මෙන්ම, J Balvin, Burna Boy, Danny Ocean වැනි සුපිරි තරු රැසක් සහභාගී වුනා. එමෙන්ම පැය භාගයකට ආසන්න කාලයක් තුළ මෙක්සිකෝවට අනන්‍ය වූ ලක්ෂණ සහිත වර්ණවත් සමාරම්භක උළෙලක් ද දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් හට හිමි වුනා.

මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව

2010 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු ලෝක කුසලානය සිහිපත් කරමින්, එම තරගාවලියේ මංගල තරගය ක්‍රීඩා කළ කණ්ඩායම් යුගලයම මෙවරත් තරගාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් පිටියට පිවිසුණා.

2010 තරගය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් වූ නමුත්, මෙවර සම සත්කාරක රාජ්‍යය ලෙස තරගයට අවතීර්ණ වූ මෙක්සිකෝව විසින් ගෝල 2-0ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම මෙක්සිකෝව විසින් මේත් සමඟම ලෝක කුසලාන තරගාවලි 08ක ආරම්භක තරගය ක්‍රීඩා කිරීම වරම් ලබා ඇති අතර, ඒ අතුරින් ජය ගැනීමට සමත් වූ පළමු තරගය ලෙස මෙය වාර්තා අතරට එක් වුනා.

තරගයේ 09 වැනි මිනිත්තුවේ දී මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කිරීමට Julian Quinones විසින් සමත් වූ අතර, 2006 ලෝක කුසලානයේ දී ජර්මනි ක්‍රීඩක Philip Lahm මිනිත්තු 06ක් ඇතුළට ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව ලෝක කුසලාන ආරම්භක තරගයක ගෝලයක් වාර්තා වූ ඉක්මන් ම අවස්ථාව ලෙසත් මෙය සටහන් වුනා. එමෙන්ම මෙම තරගවාරය සඳහා සෞදි පාපන්දු ලීගයේ වැඩිම ගෝල ලාභියා ලෙස ද Quinones ඉහළින් වැජඹෙන අතර, ඉදිරියේ දී ඔහුගෙන් තවත් විශේෂ දක්ෂතා දැක ගැනීමට ලැබෙනු ඇති.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Sphephelo Sithole පළමු රතු කාඩ් පත ලබමින් පිටියෙන් ඉවත් වුනා.

මේ අතර තරගයේ 67 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝව සතු අත්දැකීම් බහුළම ක්‍රීඩකයකු ලෙස සැලකෙන Raul Jimenez විසින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, එය ඔහුගේ 46 වැනි ජාත්‍යන්තර ගෝලය වන අතරේ ම, පළමු ලෝක කුසලාන ගෝලය ලෙස ද සටහන් වුනා.

එමෙන්ම තරගයේ දෙවැනි අර්ධයේ දී 17 හැවිරිදි Gilberto Mora ද තරගයට එක් වූ අතර, ඔහු මෙක්සිකෝව වෙනුවෙන් ලෝක කුසලානයක් නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩකයා මෙන්ම, ලෝක කුසලාන ඉතිහාසයේ 06 වැනි ළාබාලතම ක්‍රීඩකයා ලෙස ද වාර්තා අතරට එක් වුනා.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක Themba Zwane විසින් තරගයේ දෙවැනි රතු කාඩ් පත ලබා පිටියෙන් ඉවත් වූ අතර, ඉන් මොහොතකට පසුව මෙක්සිකෝවේ Cesar Montes ද රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවතට ගියා.

2006 පාපන්දු ලෝක කුසලානයේ දී නෙදර්ලන්තය සහ පෘතුගාලය අතර පැවැත්වුණු තරගයෙන් පසුව ලෝක කුසලාන තරගයක රතු කාඩ්පත් දෙකකට වඩා නිකුත් වූ පළමු තරගය ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම 2022 පාපන්දු ලෝක කුසලානය පුරාවට නිකුත් වී තිබුණේ රතු කාඩ් පත් 04ක් පමණක් වන අතර, මෙවර ලෝක කුසලානයේ පළමු තරගය නිමා වන විටම රතු කාඩ් පත් ත්‍රිත්වයක් නිකුත් වීම සුවිශේෂී කාරණයක්.

දකුණු කොරියාව සහ චෙක් ජනරජය

තරගාවලියේ දෙවැනි තරගය ලෙස දකුණු කොරියාව සහ චෙක් ජනරජය තරග බිමට පිවිසුණු අතර, මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ගියා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව, තරගයේ 59 වැනි මිනිත්තුවේ දී චෙක් කණ්ඩායම වෙනුවෙන් Ladislav Krejci විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ 67 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියාව වෙනුවෙන් Hwang In-beom පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, 80 වැනි මිනිත්තුවේ දී Oh Hyeon-gyu විසින් දෙවැනි ගෝලය ද වාර්තා කරමින් තරගයේ ජය දකුණු කොරියාවට රැගෙන ඒමට සමත් වුනා.

මෙසේ දකුණු කොරියාව විසින් සිය ලෝක කුසලාන ආරම්භක තරගය ජය ගැනීමට සමත් වුනේ 2010 වසරට පසුව වන අතර, ඔවුන් නොකඩවා තෙවැනි වරටත් ලෝක කුසලානයක දී යුරෝපීය රටක් පරාජය කිරීමට ද සමත් වුනා.

මීට පෙර ඔවුන් 2018 වසරේ දී ජර්මනිය සහ 2022 දී පෘතුගාලය පරාජය කිරීමට ද සමත් වුනා.

තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (12) කැනඩාව සහ බොස්නියාව අතරත්, ඇමරිකාව සහ පැරගුවේ අතරත් පැවැත්වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>